Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

අවසන් මොහොත

අවසන් මොහොත

සාලිය ගුණවර්ධන

අටලෝදහමෙහි පිහිටා ජීවිතය දෙස නොබැලූ සොහොයුරන් දෙදෙනකු කාලයාගේ ඇවෑමෙන් උනුන් වටහාගැනීමට දරන තැත අලළා ලියැවුණු කෙටිකතාවකි.

ර්‍ණබාප්පේ, තාත්තාට අමාරුයි. තාත්තට බාප්පා දකින්න ඕනෑලු. අනේ බාප්පෙ ඉක්මනට... යි කිසි දිනෙක තමා අමතා නැති සිරිසේන කඩුල්ල ඉදිරියෙහි සිටගෙන කඳුළු පිරි දෙනෙතින් පෑ අසරණ විලාසය ගුණදාසගේ ඇස් ඉදිරියේ පෙනෙන්නා සේ විය.

ර්‍ණහොඳයි මං එන්නම් දරුවො යි ඔහු සනසා පිටත් කළද තම සොහොයුරා සමීපයට යන්නේ කෙසේදැයි ගුණදාස මහත් කැලඹිල්ලට පත් වූයේය. කෙසේ වුවද තම සොහොයුරාගේ ඉල්ලීම ඉටු නොකළ හොත් තමාට ජීවිත කාලය පුරා පසුතැවිලි වීමට සිදු විය හැකි බව ගුණදාසට සිතිණි.

අට අවුරුද්දක් තිස්සේ කතා-බහ කරනවා තබා, උනුන් මුහුණ වත් නොබැලූ සොහොයුරන් දෙදෙනකු යළි එකිනෙකා හමු වීම කොතරම් දුෂ්කර කාර්යයක් වනු ඇද්ද?

ර්‍ණමේ ඇහුණද? ගුණදාස සිය බිරිය කැඳවූයේය.

ර්‍ණඅයියට අමාරුයිලු.

ර්‍ණඅයියට...? ඒ කිව්වේ...?

ර්‍ණඋඩහ ගෙදර අයියට, අපෙ අයිය` යි තමා දෙස මුව අයාගෙන බලා සිටි බිරිය දෙස බලා ගුණදාස තරමක් උස් හඬින් කීවේය.

සැමියාගේ වදන් ඇයට අදහාගැනීමට නොහැකි තරම් විය. සොහොයුරා වන කරුණාපාල සමඟ වසර අටක් තිස්සේ කිසිදු කතා-බහක් නැති සැමියාගේ මේ හදිසි වෙනස කෙසේ නම් අදහාගන්නද?

ර්‍ණමට තේරෙන්නෙ නැහැ මොනවද ඔය කියවන්නෙ කියලා යි සීලවතී තම විමතිය වචනයට නැඟුවාය.

ර්‍ණමොකද? මම පිස්සු විකාර දොඩෝනව කියල හිතුවද? මම කියන්නෙ ඇත්ත. අයිය අසනීපෙන් හිටිය බවක් වත් ආරංචි වුණේ නැද්ද?

ර්‍ණඑහෙම ආරංචියක් නම් කනිං-කොනිං ඇහුණා තමා, ඒත් ඉතින් අපි...

ර්‍ණඅයියට හුඟක් අමාරුලු යි ගුණදාස බැරෑරුම් ස්වරයකින් කීවේය. ර්‍ණදැන් ටික වෙලාවකට ඉස්සර සිරිසේන ආවා. අයියට මං දකින්ට ඕනෑ කියනවලු. ගුණදාසගේ දෑස තෙත් වන අයුරු සීලවතී පැහැදිලිව දුටුවාය.

ර්‍ණඉතින් මොනවද ඔය හැටි කල්පනා කරන්නෙ? බලන්න යනවද? මොනව උණත් ඉතින් සහෝදරයනේ... නේද? යි ඕ අවිනිශ්චිත හැඟීමකින් යුක්තව විමසුවාය.

ර්‍ණයන්නේ කොහොමද...? යි ගුණදාස කීවේ ඉවත බලාගෙනය.

සැමියාත් ඔහුගේ සොහොයුරාත් අතර නොහොඳ-නෝක්කාඩුව ඇරැඹී ඇත්තේ ඇය ඔහු සමඟ දීග ඒමටත් පෙරදීය. කෙසේ වෙතත් තම සැමියාගේ චිත්ත සන්තාපය තේරුම් ගැනීමට නොහැකි වන තරම් සීලවතී අසංවේදී ගැහැනියක් නොවූවාය. මේ අවස්ථාවේදී තම සැමියාට උපකාරි වන්නේ කෙසේදැයි ඕ මඳක් සිතිවිල්ලට වැටුණාය.

ර්‍ණමම කියන්නම්... අර එපිටහ වෙදහාමි අයියා එක්ක වත් යන්න බරිද?

එය නම් කදිම අදහසකැයි ගුණදාසට සිතිණ. තනියම යෑම අසීරු වුව, වෙදහාමි සමඟ යෑමෙන් ඒ අසීරුව මඟහරවාගත හැකි බව ඔහුටද වැටහිණ.

ර්‍ණඑහෙම නම් හොඳයි තමා` එහෙනම් ඔහේම ගිහිං කාරණා කියා උන්දැව එක්ක ආවා නම්...යි ගුණදාස ඇඬෙන් නැඟී සිටියේ නව පණක් ලද්දා සේය.

මෙයින් වසර අටකට පෙර සිදු වන්නට ගිය ඒ භයංකර විනාශය මතකයට නැඟී ගුණදාසගේ සියොලඟ කිලිපොළා ගියේය.

ගුණදාසගේත් කරුණාපාලගේත් පියා වූ සුන්දරහාමි ජීවත් ව සිටියදී මහ ගෙදරට යාබදව පිහිිටි ඉඩම තම පුතුන් දෙදෙනා අතර කට වචනයෙන් වෙන් කර දුන්නේ ඒවා නීත්‍යනුකූලව ඛෙදා වෙන් කිරීමට අවුරුද්දකට පෙරදීය. පියා විසින් තම වැඩිමහල් පුත් කරුණාපාලට බිම් කොටහ වෙන් කර දෙන ලද්දේ ඔහු කුඩා නිවෙසක් සාදාගෙන පදිංචිව සිටි බිම් කොටසද ඇතුළු වන ලෙසය. කෙසේ වෙතත් මේ ඉඩම් කොටස් පිළිබඳ නිශ්චිත මායිම් වෙන් කිරීමක් සිදු නොවීය. කුඩා ඇළ පාරකින් මායිම් වූ ඉහළ කොටස වැඩිමල් සොහොයුරාට අයත් සේ සැලකුණද, එයට පැහැදිලි මායිමක් නොවීය. ඇළ පාරෙන් මායිම් වූයේ ඉඩමේ අඩක් පමණකි.

ගුණදාස නිවෙසක් ඉදි කිරීම ඇරඹූයේ මෙසේ වෙන් කර දෙන ලද බිම් කොටසෙහි නොව, තම පියා විසින් නීත්‍යනුකූලවම ඔහුට පවරන ලද, තරමක් දුරින් පිහිටි පහළ ගෙදර වත්ත නම් ඉඩමෙහිය. නිවෙස ඉදි කිරීමෙහිදී අවශ්‍ය දැව දඬු සෑහෙන ප්‍රමාණයක් මහ ගෙදරට යාබද ඉඩමෙන් සපයාගත හැකියැයි ගුණපාල අදහස් කළේය. විශේෂයෙන් කරුණාපාලගේ ඉඩම් කොටසට මායිම්ව මෙන් පිහිටි ලියන් ගස කෙරෙහි ඔහුගේ අවධානය යොමු විය. තමාට අවශ්‍ය ශක්තිමත් දැව ප්‍රමාණයක් ඉන් කපාගැනීමට ඔහු අදහස් කළේය. ඉඩම නීත්‍යනුකූලව ඛෙදා වෙන් කර නොතිබුණ හෙයින්ද කෙසේ හෝ තම අවශ්‍යතාව ඉටු කරගත යුතු වූ හෙයින්ද හේ සොහොයුරාගේ අවසරයක් නොපැතූයේය.

ගමේ ගස් කපන්නකු සේ නම් දරා සිටි සිරිමලා සමඟ ගුණදාස ඉඩමට ඇතුළු වූයේය. සිරිමලාගේ උරහිසක කඹ කැරැල්ලක්ද අතක පොරොවක්ද වූ අතර, ගුණදාසගේ අතෙහි පිහියක් විය.

කුඹුරට යෑම සඳහා උදැල්ල කරට ගනිමින් මිදුලට බට කරුණාපාල වත්ත පහළින් ඇසුණු කටහඬ නිසා කුහුලින් යුතුව ගස් අතරින් විපරම් කර බැලීය.

කඹ කැරැල්ල උරහිසින් දරාගෙනම සිරිමලා ගස මුලට නැමී වැන්දේය. මේ සියල්ල බලා සිටි කරුණාපාල නොයිවසිලිමත් වූයේය.

ර්‍ණඕයි` සිරිමලා, ඔහොම හිටන් මං එන කල් යි උදැල්ල පසෙක ලූ කරුණාපාල පඳුරු ඈත්-මෑත් කරමින් වත්ත පහළට දිව ආවේ තරමක කෝපයෙනි.

ර්‍ණමොකක්ද මල්ලී උඹ මේ කරන්න හදන්නේ? කාගෙන් අහලද ඔය ගහ කපන්න ලෑස්ති වෙන්නේ? ඕක මගෙ ඉඩමේ තියෙන ගහ. මටත් මේ ගේ හදාගන්න තියෙනවා. අටවාගත්ත පැල මෙහෙමම තියාගෙන බැහැ.

ර්‍ණමේක කපන්න මට අවසර ගන්න ඕන නැහැ. කොයි ඔප්පුවෙන්ද මේවා ඛෙදලා වෙන් කරලා තියෙන්නේ? මං මේ ගහ කපන-එක නවත්වන්න කාට වත් බැහැ` යි කෑගැසූ ගුණදාස සිරිමලා අතෙහි වූ පොරොව උදුරාගත්තේය.

ර්‍ණසිරිමලා` උඹ පලයන් අහකට` යි කියමින් හේ ලියන් ගසෙහි මුලට පිට පිට පොරෝ පහර එල්ල කළේය.

ර්‍ණයකෝ` උඹ මොකක්ද මේ කරන්න හදන විනාසෙ? දැන් මේ ගහ මගෙ ගේත් යට කරගෙනයි වැටෙන්නෙ. උඹට තේරෙන්නෙ නැද්ද? ගහ බලාත්කාරයෙන් කපාගන්නව මදිවට මගේ ගේපැලත් පොඩි පට්ටම් කරන්ට හදනවද? යි කරුණාපාල ගස මුලට

දිව එද්දී ඉදිරියට පැන්න සිරිමලා ඔහු බදාගත්තේය.

ර්‍ණපොඩි මහත්තයා අනේ` ඔය වැඩේ නතර කරන්ට යි ඔහු ගුණදාස දෙසට හැරී ආයාචනා කළේය.

ර්‍ණකරන තරමක් හතුරුකම්මයි. දෙයියො බලාගන්ට ඕන මෙව්වා... යි කරුණාපාලගේ බිිරියද දෙස්-දෙවොල් තියමින් පහළට එන බව ඇසිණි. දරුවාගේ කෑගැසීම නිසා ඕ ආපසු ගෙය දෙසට දිව ගියාය.

ර්‍ණකාට වත් බෑ අද මාව නවත්වන්න. මම අද මේ ගහ බිම දාලයි නවතින්නේ. එන්ට එපා එකෙක් ළඟට. පේනවනේ අතේ තියෙන-එක යි ඛෙරිහන් දුන් ගුණදාස පොරොව ඉහළට එසවූයේය.

මේ අතර කරුණාපාලගේ බිරිය යළිත් වත්ත පහළට දිව ආවේ බියපත්ව කෑගසන දරුවාද කිහිලිගන්නාගෙනය.

ර්‍ණඋඹලා විතරද ගෙවල් හදන්නේ? උඹලට විතරද මේවා අයිති? බලමුකො ගහ කපන හැටි. මැරෙනවා මේ කොල්ලත් එක්කම ගහට යට වෙලා මං යි යසවතී පරල වූවාය.

ර්‍ණහා හා` උඹ පලයන් පැත්තකට ඔය කොල්ලත් අරගෙන. මං බලාගන්නං ඒක. මං මෙතනින් අඩියක් උස්සන්නේ නැහැ. කපාපිය යකෝ ගහ මගේ ඇඟ උඩට. ගේත් ඉවරයි මාත් ඉවරයි එතකොට. කපාපිය ඉතිං යි කරුණාපාල ලියන් ගසට හරි කෙළින් ඉද්ද ගැසුවා සේ සිටගත්තේය.

තේ කඩේ අසල සිටි වෙදහාමි, හරමානිස්, ජිනදාස, නන්දසේන ආදීන් ඇතුළු හත්-අට දෙනකුගෙන් යුතු පිරිසක්ද කැටුව සිරිමලා ආපසු එද්දී පිට-පිට ගුණදාසගේ පොරෝ පහර කෑ ලියන් ගසෙහි කඳින් අඩක් කැපී තිබිණි. කඹයක ආධාරයෙන් තොරව ඉතිරි කොටස කැපුව හොත් නිසැකවම ගස කඩාවැටෙන්නේ කරුණාපාලගේ ගෙයි වහලය හරි මැදිනි. දැන් කඹයක් බැඳීමට ගසට නැඟීමද කළ නොහැක්කකි.

ර්‍ණමේ වගක් මට කියලද හීන් එකෝ උඹ ආවේ? යි සිද්ධිය සැල වූ කෙණෙහි එහි ආ සුන්දරහාමි තම බාල පුතාට දෝෂාරෝපණය කළේය.

ර්‍ණඅප්පච්චි තමයි මූ රජ කරවන්න හදන්නේ. මූටමයි කරන්නේ. මං දරුවෙක් නෙවෙයිනේ` යි කරුණාපාල තම පියාට අවලාද නැඟුවේය.

ර්‍ණගහ-මරාගන්නෙ නැතුව මේවා කතාවෙන්-බහෙන්, හොඳින් බේරාගනිල්ලා මයෙ අප්පලා යි දෙසොහොයුරන්ගේ මවද එහි ළඟා වෙමින් අකම්පාල වූවාය.

ර්‍ණහා, හා` ඔය කතාවලින් වැඩක් නෑ. මෙතන වින්නැහියක් වෙන්නටයි යන්නේ. මලයා, නවත්තපං මලයා ඔය වැඩේ යි වෙදහාමි පිරිස අතරින් ඉදිරියට විත් ගුණපාල අතෙහි වූ පොරොව උදුරාගත්තේය.

ර්‍ණමේ සිරිමලා, මෙහෙ වරෙන්∙ ගනිං කඹ පොට∙ නැගපං දෙල් ගහට∙ ඉක්මන් කරපන්`

වෙදහාමිගේ විධානය අනුව ක්‍රියාත්මක වූ සිරිමලා වහා-වහා දෙල් ගස දිගේ ඉහළට නැඟගත්තේය∙ වෙදහාමිගේ උපදෙස් අනුව ලියන් ගසෙහි කඳ වටලා කඹය ගැටගසා යුහුසුලුව බිමට බැසගත්තේය. හරමානිස් බාස් උන්නැහේ ඇතුළු පිරිස එක්ව කරුණාපාලගේ නිවෙස බේරා ගස බිම වැටෙන පරිදි අසල වූ මිල්ල ගස වටා වටයක් යවන ලද කඹයෙහි අනෙක් කෙළවර තදින් අල්ලාගත්හ. සිරිමලා දැඩි උද්යෝගයකින් ගස කැපීමෙහි යෙදුණේය.

ගත වූයේ පැය බාගයක් පමණි. මහා හඬක් නඟාගෙන යෝධ ලියන් ගස ඇදවැටුණේ කරුණාපාලගේ නිවෙසට අඩි හතක්-අටක් දුරිනි. වටා රැස්ව සිටි ගැහැනුන් සැනසුම් සුසුම් හෙළද්දී වට-පිට බැලූ පිරිසේ කිසිවකුට ගුණදාස දක්නට නොලැබිණි. ඔහු හෙමින් සීරුවේ මඟහැර ගොස්ය.

මේ සිද්ධියෙන් පසු ගුණදාසට තම සහෝදරයාගේ ඇස් මානයක සිටීමට අපහසු විය. තමා අතින් සිදු වන්නට ගිය මහ විපත සිහි පත් වන වාරයක් පාසා ඔහු දැඩි කම්පනයට පත් විය. කරුණාපාල දකින වාරයක් පාසා එම කම්පනයෙන් නිදහස් වීමට ඔහුට නොහැකි විය.

නිවෙස සඳහා අවශ්‍ය දැව දඬු පිටතින්ම සපයාගැනීමට ගුණදාස තරයේම ඉටාගත්තේය. කපා හෙළන ලද ලියන් ගස කලක් යන තුරු වැටුණු තැනම තිබිණි.

සිද්ධියෙන් වසරක් ගෙවී ගිය තැන තම දරුවන් දෙදෙනා සමඟි කරවීමට සුන්දරහාමිට කදිම අවස්ථාවක් උදා විය. එනම් ගුණදාසගේ විවාහ මංගල අවස්ථාවයි. මඟුලට වැඩිමහල් සහෝදරයාටද ආරාධනා කරන ලෙස හේ ගුණදාසට උපදෙස් දුන්නේය. තම සහෝදරයා සමඟ සමඟියෙන් විසීම මැනැවැයි සිතූ ගුණදාස පියාගේ උපදෙස් පරිදි බුලත් හුරුල්ලක්ද ඔතාගෙන පිටත්ව ගියේය. එසේ වුවද මඳ දුරක් ගමන් කරද්දී හිතට නැඟුණු විතර්කයක් නිසා ඔහු පසුබෑවේය.

එදා-මෙදා තුර අවුරුදු අටක කාලය ගෙවී ගියේ සහෝදරයන් දෙදෙනා අතර මුහුණට මුහුණ හමුවීමකට හෝ පණිවිඩ හුවමාරුවකට හෝ අවම වශයෙන් එකිනෙකා පිළිබඳ හැඟීම් මාත්‍රයකට හෝ ඉඩ හසරක් නොතබමිනි. කාලය කොතරම් අනුකම්පා විරහිත වීදැයි සිතූ ගුණදාස වෙතින් දිගු සුසුමක් පිට විණි.

ර්‍ණහූල්ල-හූල්ල ඉඳලා වැඩක් නැහැ. යමු යමු ලෙඩා බලන්න. මටත් ටිකක් වෙලා ගියා. අර පෑලිස් ගොයියගෙ කකුලට පත්තුවක් බැන්දායි කියමින් වෙදහාමි දොර පඩිය අසලටම ආවේ ගුණදාසගේ දැහැන බිඳදමමිනි.

ර්‍ණවෙදහාමි අයියා නේද? ළඟටම එනකං දැක්කෙ නැහැ නෙවැ. එන්ට, වාඩි වෙන්ට.

ර්‍ණහා.. හා` ඉක්මන් කරනවා හොඳයි. වාඩි වෙවී ගත කරන්ට කාලයක් නැහැ, යි කී වෙදහාමි මිදුලෙහි ඒ-මේ අත ඇවිදින්නට විය.

ගුණදාස ලහි-ලහියේ මිදුල කෙළවර පිහිටි පැණි දොඩම් ගසට නැඟ හොඳින් පැසුණු ලොකු ගෙඩියක් කඩාගෙන බැස්සේය.

ර්‍ණයමු නේද වෙදහාමි අයියා?

ර්‍ණහ්ම්, යමු යමු.

කඩුල්ල පැන අන්දර වැට අතරින් පිටත්ව යන දෙදෙනා දෙස සීලවතී ඇසිපිය නොහෙළා බලා සිටියාය.

වෙදහාමි සමඟ ගුණදාස එද්දී අසල්වැසි සෑහෙන පිරිසක් කරුණාපාලගේ නිවෙස තුළත්, මිදුලෙහිත් රැස්ව සිටියෝය. මෙතෙක් රෝගියා පිළිබඳ අවධානයෙන් සිටි ඔවුන් ගුණදාසගේ සම්ප්‍රාප්තියෙන් විස්මෘත වූ සෙයකි. සමහරෙක් උනුන් මුහුණ බලාගත්හ. ඇතැමෙක් මුමුනන්නට වූහ.

වෙදහාමි ගුණදාස කැටුව රෝගියා වැතිර සිටි ඇඳ අසලට ගියේය. ඉතා අපහසුවෙන් ආශ්වාස-ප්‍රශ්වාස කිරීමට දැඩි ප්‍රයත්නයක යෙදෙන තම සහෝදරයාගේ අසරණ විලාසය දුටු ගුණදාසගේ ළය දැඩි සේ කම්පාවට පත් වූ බව ඔහුගේ ඉරියව්වලින් ප්‍රකට විය.

මරණාසන්නව සිටින සොහොයුරාගේ මුහුණට සමීප වූ ගුණදාස කඳුළු බර දෙනෙතින් යුතුව සමාව අයදින ස්වරයෙන් ඔහු ඇමතුවේය

ර්‍ණඅයියා... අයියා... මේ මම ආවා...

ගුණදාසගේ ස්වරය හැඬුම් බර ය.

ර්‍ණආ...හ් යි හඬක් පිට කරමින් රෝගියා දෑස විවර කර බැලුවේය. ඒ දෑසෙහි ක්ෂණික දීප්තියක් දිස් විය. කරුණාපාල තම සහෝදරයාගේ මුහුණ දෙස විදහාගත් දෑසින් එක එල්ලේ බලා සිටියේය. තොල් සසල වූව ද, එක වචනයකදු දොඩන්නට ඔහු අපොහොසත් වූයේය.

ගුණදාස මේසයක් වෙත ගොස් තමා ගෙන ගිය දොඩම් ගෙඩිය කපා කුඩා දරුවකු ලවා ගෙන්වාගත් වීදුරුවකට මිරිකාගත් යුෂ සීනි සහ ජලය ස්වල්පයක් මුසු කර යළි සහෝදරයා සමීපයට ගියේය. තම බාල සොහොයුරා විසින් මුවගට ළං කරන ලද දොඩම් යුෂ බඳුන දෝතින් බදාගත් කරුණාපාල එය එක හුස්මට බී හිස් කළේය. යළි ගුණදාස වෙත යොමු වූ ඒ දෑස දෙස බලා සිටීම මහත් අසීරු කරුණක් සේ හැඟුණ ඇතැමෙක් ඉවත බලාගත්හ.

තම සොහොයුරා දෙස ස්වල්ප වේලාවක් බලා සිටි ගුණදාස පිරිස අතරින් මිදුල දෙසට පියනැඟුවේ බිම බලාගත් වනමය. මිදුල කෙළවර කුන්දිරා පොල් ගසට අතක් තබා වත්ත පහළ ලඳු කැටියක් දෙස බලාගෙන හේ ඉකිගසන්නට විය.
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...