Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

මානසික පීඩාව ජය ගනිමු

මානසික පීඩාව ජය ගනිමු

පූජ්‍ය බෝධිචිත්තා මෙහෙන් වහන්සේ

මෙලොව දිවි ගෙවීමේදී නිරතුරු අප පෙළන-තවන මානසික පීඩාවන් කිහිපයක් සහ එවන් අවස්ථාවන්හිදී අප සිතිවිලි සකස් කරගත යුතු ආකාරයද මේ තෙරණියෝ පහදති.

කය රෝගී වූ පමණින් සිතද රෝගී කර නොගන්න. බිත්තර කටුවක් වැනි වූ මේ කය කැඩුම්-බිඳුම්, පිපිරුම් හා දිරීම් යන වෙනස්වීම්වලට ලක් නොවුව හොත් එය පුදුමයකි. එහෙයින් මේ ස්වාභාවික ධර්මතා හමුවේ අප සිත කිලුටු කරගත යුතු නැත. නීරෝගී සිතට රෝගී කය එතරම් ප්‍රශ්නයක් නොවේ. කෙසේ වෙතත් ර්‍ණආරෝග්‍යපරමා ලාභා යි බුදුරදුන් කී සේ කායික හා මානසික සුවය යමකුට ලැබිය හැකි පරම ලාභයයි. නීරෝගීව සිටින තාක් මෙය අපට නොතේරුණද, රෝගී වූ වහාම මෙම අරුතෙහි ඇති ගැඹුර අපට වැටහී යන්නේ නිරායාසයෙනි.

ගත වැටුණද සිත නොවට්ටාගන්න. සිතේ වාරුවෙන් ගත නඟා සිටුවාගැනීමට පහසු වේ. ගතේ ඇති පිළිකාවට වඩා මනසේ දිවා-රෑ පාලනයක් නැති සිතිවිලි නිසා වර්ධනය වන පිළිකාව වඩා භයානකය. අපට වැඩි හානියක් කරනුයේ ගතේ ඇති විෂබීජයන්ට වඩා හිතේ ඇති විෂබීජයන්ය. ගතේ ඇති විෂබීජ අප මළ පසු පොළොවෙහි වැළලී යන අතර, හිතේ ඇති විෂබීජ, ඒවා නසන තුරුම අප කය මළ පසුද අපත් සමඟ රැඬෙමින්, පරලොවෙහිදීද, අපට දුක් විඳීමට හේතු-කාරණ සෑදීමට තරම් ශක්තිමත් බව සිහි කරගන්න.

එහෙයින් ගතේ නාළ පුපුරා ගියද, හිතේ ඉවසීම, මෛත්‍රිය, කරුණාව, දයාව හා උපේක්ෂාව දෙදරුම් කෑමට ඉඩ නොදිය යුතුය.

ලෙඩකුට සාත්තු කිරීමේදී අප ලෙඩාට වඩා ලොකු ලෙඩකු නොවිය යුතුය. අප මානසිකව ශක්තිමත් නම් ලෙඩා තවදුරටත් නොවට්ටා වාරු කරගැනීමට හැකියාවක් ඇත. අප පුදුමයට පත් විය යුත්තේ සැමදා ජරාවට, වෙනස් වීමට ලක් වන මේ කුණු කය ලෙඩ නොවුණ හොත්ය. ලෙඩ වීම සාමාන්‍ය, ස්වාභාවික සංසිද්ධියකි.

දොස් තොර කිරීමට වැඩ කරන දොස්තර මහතාට ඔබ වැනිම තවත් රෝගීන් සිය-දහසකට පිහිට වීමට සිදුව තිබේ. බොහෝ රජයනට මුහුණ පෑමට සිදුව ඇති බරපතළ ප්‍රශ්නයක් නම් දොස්තරවරුන්ගේ හා හෙදියන්ගේ හිඟයයි. එනිසා සේවය කරන්නා වූ දොස්තර මහතුන්ට, හෙදියන්ට දැරිය නොහැකි බරක් දරන්නට සිදුව තිබේ. අප ඔවුන්ට මුහුණපාන්නට සිදු වී ඇති තත්ත්වය අවබෝධ කරගෙන, දොස්තරවරුන් හා හෙදියන් දෙස මෛත්‍රිය, කරුණාව, දයාව හා උපේක්ෂාව මුසු වූ ඇසකින් බලන්නේ නම් ඔවුන්ගේ මෘදු-කරුණා-දයාබරිත දෙනෙතට අප ලක් වීම වැළැක්විය නොහැකිය.

ඔබ ඔබගේ ලෙඩේ හෝ සමීපතම රෝගියාගේ ජීවිතය, ජීවිතයත් අතර මරණයත් සටනින් ජය ගැන්වීම මේ මොහොතේ කිරීමට ඇති වැදගත්ම හා ප්‍රධානතම දෙය ලෙස අරමුණු කර වැඩ කරන්නා සේම, දොස්තර මහතුන්ගේ හා හෙදියන්ගේ අවධානය හා පිහිට බලාපොරොත්තු වන්නා වූ අන් සියලු දෙනාගේත් ප්‍රාර්ථනාව මෙයම වන බව තේරුම් ගන්න. එනිසා ඔවුන්ට සියලු රෝගීන්ට විශේෂ අවධානය යොමු කිරීමට සිදුව ඇති බව සලකන්න. ගැටුම්වලට තුඩු දෙන්නේ අපගේ ආත්මාර්ථකාමිත්වයයි. ඉවසීම පෙරදැරිව පරහිතකාමිත්වය වඩන්නා සියලු තැන්හිදී ජය ගන්නා බව නිතර මතක් කරගන්න.

අනුන්ට දොස් පවසමින් සිටින්නාට වඩා තමා තුළ ඉවසීම, දයාව, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව හා අවබෝධය යන ගුණාංග වඩවාගත්තේ, අන් අයට පි‍්‍රය වන නිසා ඒ ඇත්තන්ගේ අල්ම, බැල්ම, රැකවරණය ලැබ ඉක්මන් සුවය ලැබීමට වාසනාව ලබයි.

අනෙක් අතට අපගේ සමීපතමයකු. මරණාසන්න තත්ත්වයට පත් වූයේයැයි නැති නම් මරණයටම පත් වූයේයැයි සිතමු. ඉපදුණ මොහොතේ සිට මරණය දක්වා යන ගමන අප ජීවත් වීම යනුවෙන් නම් කර ඇත. අප මරණයට බිය නම් ජීවත් වීමට බිය විය යුතුය. ජීවත් වීමට බිය නම් අප ඉපදීමට බිය විය යුතුය. කුමන මොහොතේ, කවරදා කිනම් අයුරකින් අපගේ මරණය සිදු විය හැකිදැයි කාට නම් කිව හැකිද?

මරණය අපගේ සමීපතමයන්ට මෙන්ම, ලොව ඉපදුණ යමෙක් සිටී නම් ඒ සියල්ලන්ටම උරුම ධර්මතාවකි. අපටද මෙය මුහුණ දීමට සිදු වේ. ර්‍ණජීවිතය අනියතයි මරණය නියතයි යන්න සිහි කරගැනීම යෙහෙකි. එවිට අම්මා, තාත්තා දරුවන් වේවා කවුරුන් මැරුණද, මෙය තේරුම් ගත්තාගේ ලොව කඩාවැටෙන්නේ නැත.

නොතේරුම් ඇත්තේ මෙසේ මරණය ගැන සිහි කිරීම ඍණාත්මක සිතුවිලි වර්ධනය කිරීමක්යැයි කියූවද එම කියමන නිවැරදි ප්‍රකාශයක්ද යන්න සොයා බැලීම වටී. මෙසේ මරණය ගැන සිහි කිරීම යථාර්ථය ගැන ඇති සැටියෙන් කල්පනා කිරීමට ගන්නා උත්සාහයකි. බොහෝ දෙනා ම මනසින් හදාගත් ලෝකවල ඉඳ සැමදා ජීවත් වන්නන් ලෙසද, තමුන් හා තම සමීපතමන් කිසිදා නොමියෙන්නන් ලෙසද, මවාගත් මනස්ගාතවලින් පිරි මනෝවිකාර ඇතිව සිටින ලෝකවල ජීවත් වෙමින් යථාර්ථයන්ගෙන් පලා යෑමට මාන බලති. මෙවැන්නන්ට දවසක යථාර්ථයට මුහුණ දීමට සිදු වූ විට ඔවුන්ගේ මුළු ලෝකයම කඩාවැටී, අවසානයේදී මානසික රෝහල්වල නතර වීමට පවා සිදු වේ. එනිසා යථාර්ථය ගැන කල්පනා කිරීමෙන් යථාර්ථයට මුහුණ දීමට සූදානමක් ඇති කරවයි. මරණයට එඩිතරව මුහණ දීමට, හිත ශක්තිමත් කරගැනීමට, මෙම සිහි කිරීම මහෝපකාරී වේ.

ඒ කෙසේද යත් මහ වැස්සක් වැසීමේ පෙරනිමිති අපට පෙනෙන්නේ නම් ඒ ගැන කල්පනා කිරීමෙන් අපට එයින් ආරක්ෂා වීමට අවශ්‍ය පිළියම් යොදාගත හැකි වන්නා සේය. සේ නැත හොත් අනපේක්ෂිත අන්දමින් මොරසූරන ධාරානිපාත වර්ෂාවකට මුහුණ දීමට සිදු වීමේදී මොන තරම් අපහසුතාවකට අපි ලක් වන්නෙමුද? එමෙන්ම අපගේ පෙර සූදානමක් නොමැතිකමින්, කොතරම් නම් හානි අපට හට සිදු වී ඇද්දැයි යන්න දන්නේ මෙවැනි අවස්ථාවලට මුහුණ පෑ ඇත්තන් හා ඒ ගැන ඇසූ-දුටුවෝය.

මරණය අබියසදී අප කලබල වීමෙන්, බය වීමෙන්, කෝප වීමෙන්, ශෝක වීමෙන් දැඩි ආශාවන් නිසා අත්හැරීමට නොහැකිව දැඟලීමෙන් වන්නට තිබූ ව්‍යසනය අපට මඟ හරවාගැනීමට හැකි වන්නේ අප මෙයට පෙරසූදානමක් තිබුණොත් පමණි.

අප ප්‍රාර්ථනා කරන පරිදි මෙලොව කීයෙන් කී දෙනෙක් නම් පරලොව ජය ගත හැකි ලෙස සමාදානයේ සැතපෙතිද? නැත් නම් සැනසිල්ලේ ශාන්තව මියෑදෙතිද?

සෑම ඇරඹුමකම අවසානයක් ඇත. එසේම සෑම අවසානයක්ම අලුත් ඇරඹුමකට මුලපිරීමකි. මරණය යනු ජීවත් වන්නා විසින් අත්විඳින්නා වූ තවත් එක් අත්දැකීමක් පමණි. සංසාරය නම් වූ මහා දිගු ගමනක යෙදී සිටින්නන් හට මේ ජීවිතය, පසු කර ආ සිය දහස් ගණන් නවාතැන්වලින් තවත් එක් තාවකාලික නවාතැනක් පමණි. පෙර නවාතැන්පළවලට ආ-ගිය හැටි අමතක වුවද අප කොහේ හෝ සිට දැන් මෙතැනට පැමිිණ ඇති බවත්, මේ නවාතැන්පළත් කවරදා හෝ අතැර යෑමට සිදු වන බවත් සක්සුදක් සේ පැහැදිලිය.

අහිගුණ්ඨිකයන් හට මෙන් නවාතැන්පළින් නවාතැන්පළට මාරු වීමට සිදු වීම බොහෝ විඩා ගෙන දෙන ක්‍රියාවලියක් නොවන්නේද? එනිසාය සසර කතරින් එතෙර වී මේ සියලු දුකෙන් මිදීම මහා සැපයක්යැයි බුදු රජාණන් වහන්සේ වදාරා ඇත්තේ. සියලු සංඛත දෙයින් මිදීම, නිවීම යමකුට මේ ජීවිත කාලය තුළ ලද හැකි උතුම්ම සැපත වේ.

එසේ නම් අප වහා ක්‍රියාත්මක විය යුත්තේ මේ දුකෙන් මිදීමටය. එවිට අප හට ඇතුළින්ම නියම සැපය, සතුට හා සැනසිල්ල ලැඛෙනු ඒකාන්තය. අප කෙසේ නම් මේ දුකෙන් මිදෙමුද? ලොව කවුරුන් හෝ මේ දුකෙන් මිදෙන පිළිවෙළ අප හට කියා දී ඇද්ද? කිනම් ආගමික නායකයෙක්, ශාස්තෘවරයෙක් මේ ගැන කතා කර ඇද්ද? ඒ අන් කිසිවකු නොව, අවුරුදු කල්ප කෝටි ගානක පරතර ඇතිව ලොව පහළ වන බුදුවරුන්මයි. සියලු සතුන්ට මහා කරුණාවෙන් යුක්තව මේ දුකින් මිදීමේ මග පිළිවෙළ සම්මා සම්බුදුවරුන් අසරණ දෙවි-මිනිසුන්ට හෙළි කර දෙන්නේ විමුක්තියට මගපෙන්වීමේ ඒකායන අධිෂ්ඨානය ඇතිවයි. දුක තේරී දුකින් මිදීමට මඟක් සොයන බුද්ධිමත් අයට ලෝකයට ඉතාම දුර්ලභ ලෙස පහළ වන බුදු කෙනකුගේත්, බුදුන් දේශනා කරන ශ්‍රී සද්ධර්මයේත් අගය තව කෙනෙකුන් කියාදිය යුතු නැත.

ර්‍ණපඤ්ඤාවන්තස්සායං ධම්මෝ
නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස

යනුවෙන් බුද්ධදේශිත ගාථාවට අනුව දහමින් ප්‍රයෝජන ගත හැක්කේ ප්‍රඥාවන්තයන් හට බව අප සිහි කරගත යුතුය.

මනුස්සයකු හැටියට ඉපද ජීවත්ව සිටියදී සියලු දුකෙන් සදහටම මිදීමේ පැහැදිලි මගක් අප ගෞතම බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇතත්, මේ දේ ජීවත්ව සිටියදී තේරුම් නොගත් නිසා දෝ අප මියගිය පසු අප මිතුරන් ර්‍ණනිවන් සුව ලැබේවා` යනුවෙන් අපට අමතක වූ ජීවිතයේ අරමුණ මතක් කිරීමට මෙන් ලොකු බැනරයක් දමනුයේ?

මෙය කියවන අපගේද මිතුරන් අප වෙනුවෙන් මෙසේ බැනර් දැමීමට පෙර, බෞද්ධයන් හැටියට අපගේ අරමුණ විය යුත්තේ මේ ජීවිත කාලය තුළදීම නිවීම, සැනසීම අප ජීවිතට ළඟා කරගැනීම බව අප හට දැන් වත් පසක් වන්නේ නම් අප ප්‍රමාද නැත.
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...