Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

බුදු හාමුදුරුවන් දවස ගෙවූ හැටි...

බුදු හාමුදුරුවන් දවස ගෙවූ හැටි...

කුසුමා වීරසිංහ

බුදු රජාණන් වහන්සේ දවසේ පැය 24න් පැය 22ක්ම බහු ජන හිත සුව පිණිස කැප වූ හැටි මේ ලේඛිකාව හෙළි කරයි.

බුදු රජාණන් වහන්සේ තම මුළු ජීවිත කාලයම ලෝවැසියන්ගේ ශුභ සිද්ධිය තකාම කැප කළ සේක. හැමට ආදර්ශයක් වෙමින් දිවා රෑ පස් කොටසකට ඛෙදා තම වැඩකටයුතු ඒ අනුව ගෙන යෑම බුදුන් වහන්සේගේ දින චර්යාව විය. එය මොනයම් කරුණක් නිසා වත් වෙනස් නොවූවකි. කිසිම අවස්ථාවක නිකරුණේ කාලය ගෙවීමක් බුදු සිරිතේ නොවීය.

වැසි සිව් මස හැරුණ විට උන් වහන්සේ මුළු කාලයම ගත කළේ ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට චාරිකාවෙහි යෙදෙමින්, මිනිසුන් යහමග යැවීමටය. ඒ තුරිත සහ අතුරිත චාරිකා ලෙසය. කිසියම් පුද්ගලයකු වෙනුවෙන් හෝ පිරිසක් වෙනුවෙන් විශේෂයෙන් දහම් දෙසීමට වැඩම කිරීම තුරිත චාරිකා වන අතර, ගම්නියම්ගම්වල චාරිකාවල යෙදෙමින් ජනයා සුඛිත මුදිත කිරීම අතුරිත චාරිකා ලෙස හැඳින්වේ.

චාරිකාවෙහි යෙදුණත් නොයෙදුණත් උන් වහන්සේ කාලසටහනකට අනුව තම දෛනික ජීවිතය ගෙන ගිය සේක. ඒ අනුව පෙර බත් කිස සහ පසු බත් කිස යනුවෙන් දිවා කාලය දෙකොටසකට ඛෙදනු ලැබිණ. රාත්‍රි කාලය පෙරයම් කිස මැදියම් කිස සහ පැසුළුයම් කිස යනුවෙන් තුන් කොටසකට වෙන් කැරිණි.

අලුයම හතරට පමණ අවදි වන බුදු පියාණෝ මුව දෝවනය කිරීම, ශරීරය පිළිදැගුම් කිරීම ආදියෙන් පසු මහාකරුණා සමාපත්තියට සමවැද ලෝකය දෙස බලා, පිහිට විය යුතු කෙනකු ඇත්දැයි සොයති. එසේ සිටී නම් අනාරාධිතවම එතැනට වැඩම කොට ඔහුට හෝ ඇයට පිහිට වන සේක. එසේ නොමැති අවස්ථාවක විවේකීව හිඳ පිඬු සිඟා වඩින වේලාව පැමිණි විට සිවුරු පෙරවා, පාත්‍රය රැගෙන හුදෙකලාව හෝ සඟුන් පිරිවරා හෝ වඩිනා සේක. සමහර අවස්ථාවල සාමාන්‍ය ලෙස වඩිනා අතර, සමහර දිනෙක ආශ්චර්යයන්ගෙන්ද යුක්ත වෙති. එවන් විටක උන් වහන්සේගේ සිරුරින් සවණක් ගණ බුදු රැස් නිකුත් වී නගරයෙහි ප්‍රාසාද ගොඩනැගිලි සියල්ල ආලෝකවත් වෙයි. ඇත්-අස් සෙන් හා සියොත්හු මුළු පෙදෙසම කන්කලු හඬින් පුරවති. ඛෙර, වීණා ආදි තූර්ය භාණ්ඩයන්ගේ මිහිරි නාදය රැව්-පිළිරැව් දෙයි.

මේ සලකුණුවලින් බුදුන් වහන්සේ වඩිනා බව මහජනයා දැනගනිති. ඔවුහු මනාව හැඳ-පැලඳ නොයිවසිල්ලෙන් බුදුන් වඩිනා පෙරමඟ බලා සිටිති∙ උන් වහන්සේ වැඩි පසු නිවෙසකට ආරාධනා කොට වඩා-හිඳුවා දන් පිළිගන්වති. අනෙක් භික්ෂූන් වහන්සේලාද කොටස් වශයෙන් ඒ ඒ නිවෙස්වල වඩා-හිඳුවා දන් පිළිගන්වති. බුදුන් වහන්සේ දන් වැලඳීමෙන් අනතුරුව එහි සිටින්නන්ගේ අදහස් නුවණින් විමසා බලා, හැමගේ සිතට සරිලන ලෙස ධර්මය දේශනා කරන සේක. ඇතැමකු තෙරුවන්සරණ යෑමත්, පන්සිල්හි පිහිටීමත්, සෝවාන් ආදි මාර්ගඵල ලබාගැනීමත් මෙහිදී සිදු වේ.

ඉන් පසු බුදුන් වහන්සේ සඟුන් පිරිවරා විහාරයට වැඩ, මඳ වේලාවක් විවේක සුවයෙන් ගත කරති. දිවා කාලයේ දෙවැනි කොටස පසු බත් කිස යි. බුදු රජාණන් වහන්සේ එහිදී පැනවූ අස්නෙහි වැඩ හිඳ භික්ෂු-භික්ෂුන්ට අනුශාසනා කරති∙ සමහරුන්ට චරිතානුකූලව කමටහන් දෙති. ඔවුහු බුදුන් වහන්සේගෙන් සමු ගෙන වන සෙනසුන්, වෘක්ෂ මූල ආදියට යති. ඉන් අනතුරුව බුදුන් වහන්සේ ගඳකිළියෙහි මඳක් විවේකීව වැඩ සිටිති. අනතුරුව මහා කරුණා සමාපත්තියට සමවැද කමටහන් ගෙන ගිය භික්ෂූන්ගේ සුව-දුක් සොයා බලති∙ දුර සිටින්නවුන් කරා ඍද්ධියෙන් වැඩම කොට අවවාද අනුශාසනා ලබා දී නැවතත් ගඳකිළියට වැඩම කරති. මේ වන විට දහම් ඇසීම සඳහා ස්ත්‍රී-පුරුෂ පිරිස් විහාරයට පැමිණ ඇත. පැයක් පමණ කරන ඒ ධර්ම දේශනාව තම-තමන්ටම කියන්නාක් මෙන් ඔවුන්ට දැනෙයි. සෑම කෙනකුටම ගැළපෙන පරිදි උන් වහන්සේ ධර්මය දේශනා කරති. සවස 6 සිට රාත්‍රි 10 දක්වා පෙර යම් කිස යි. බුදුන් වහන්සේ උපස්ථායක භික්ෂූන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ජලයෙන් ඇඟ සෝදාගෙන ගඳකිළියෙහි පනවන ලද අසුනෙහි වැඩ හිඳින සේක. මේ කාලය භික්ෂූන් වහන්සේ සඳහාම වෙන් කරන ලද්දක් ලෙස සැලකේ. භික්ෂුන් වහන්සේ තමන් වහන්සේට පැනනගින ගැටලු ඉදිරිපත් කරන්නේ මේ අවස්ථාවේය. සමහරු කමටහන් ලබාගනිති. සමහරු ප්‍රශ්න විචාරති. තවත් සමහරු බණ දේශනා කිරීමට ආරාධනා කරති. අප බුදු පියාණෝ වෙහෙසක් නොබලා මේ සියල්ල ඉටු කරන සේක.

රාත්‍රි 10 සිට පෙරවරු 2 දක්වා මැදියම් කිස යි. දෙවියන්, බඹුන් බුදුන් වහන්සේ හමු වීමට පැමිණෙන්නේ මේ අවස්ථාවේ ය. දෙව්-බඹ පිරිස් තමන්ට විසඳාගත නොහැකි ප්‍රශ්න බුදුන් වහන්සේට ඉදිරිපත් කර ඒවා නිරාකරණය කරගන්නේ මේ කාලයේය. මංගල කරුණු මොනවාදැයි කාලයක් තිස්සේ සොයමින් සිටි දේවතාවන්ට එය නිරාකරණය කරමින් මංගල සූත්‍රය දේශනා කිරීම එබඳු එක් අවස්ථාවකි.

රාත්‍රියෙහි පශ්චිම යාමය - එනම් පැසුළුයම් කිස කොටස් තුනකට ඛෙදේ. මුල් කොටසේදී බුදුන් වහන්සේ ගතෙහි විඩා ඇරෙන තෙක් සක්මනෙහි යෙදෙති∙ දෙවන කොටසෙහිදී සිංහ සෙය්‍යාවෙන් පැයක් පමණ සැතපෙති∙ තෙවන කොටසෙහිදී අලුයම මහා කරුණා සමාපත්තියට සමවැද බුදු ඇසින් ලොව බලති∙ පිහිට විය යුත්තකු සිටී නම් ආරාධනයක් නැතිවම එතැනට වැඩම කොට ඔහුට හෝ ඇයට සෙත සලසති.

අප බුදු පියාණන් දිනකට පැයක් පමණ සැතපෙමින් ඉතිරි මුළු කාලයම, හතළිස්පස් වසරක් මුළුල්ලේම ගත කළේ මේ අයුරින් ඉතා ක්‍රමවත් කාලසටහනක් අනුව වැඩ කිරීමෙනි. ඒ මිනිසුන් ප්‍රමුඛ ලෝක සත්ත්වයාගේ සුභසිද්ධිය උදෙසාමය. උන් වහන්සේගේ චරිතය දෙස බලා අපගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු සකසා-සපුරා කරගැනීමට හැකි නම්, එයද උන් වහන්සේ දෙසා-වදාළ පරිදි ප්‍රතිපත්ති පූජාවකි.
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...