Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

දාන හටන

දාන හටන`

පී. ඩී. ආරියරත්න

කොසොල් මහරජු හා මහජනතාව අතර නොදෙවැනි දානයක් උදෙසා පැවැති මහා තරගයේ පුවත දක්වන මේ ලිපිය සැබෑ දානය යනු කිමෙක්ද? යන පැනය කෙරෙහි අපගේ නෙත් අයවයි.

සැවැත් නුවර කොසොල් මහ රජතුමා හට බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ පන්සියයක් නමකට මහ දනක් පිදීමේ අදහසක් ඇති විය. රජතුමා බුදු රජාණන් වහන්සේ හමු වීමට ගොස්, තමාගේ අදහස ඉදිරිපත් කොට, දනට ආරාධනා කළේය. බුදු රජාණන් වහන්සේ එය ඉවසා, ආනන්ද හිමියන්ට කථා කොට, අසවල් දිනයේ කොසොල් මහරජුගේ මාළිගයෙහි දානය සඳහා වඩින්නට සූදානම් වන ලෙස දන්වා වදාළ සේක.

නියමිත දිනයෙහි බුදුන් ප්‍රමුඛ භික්ෂූන් පන්සියයක් දෙනා වහන්සේ මාළිගයට වැඩියහ. රජතුමා මැනවින් දානය පිරිනැමීය. රජතුමා විසින් පිරිනැමෙන මේ දානය දැක-බලාගැනීමට සියලු රටවාසීන්ටත් ආරාධනා කරනු ලැබිණ. මෙය දැක-බලාගත් රටවාසීහුද බුදු රජාණන් වහන්සේ හා සංඝයා පන්සිය නමක් විෂයයෙහි දානයක් පිරිනැමීමට සැලසුම් කළෝය. ඒ දානය පූජා කරනු බලාගැනීමට රජතුමාටද ඇරියුම් කැරිණි. දානය පූජා කර අවසානයේදී රජතුමාට පෙනී ගියේ එය තමන් පිදූ දානයටත් වඩා මහ ඉහළින් සිදු කැරුණු බවයි. මේ වග කල්පනාවට ගත් රජතුමා යළිත් රටවාසීන් දුන් දානයට වඩා ඉහළින් දානයක් පිරිනැමුවේය.

මෙසේ කොසොල් මහ රජතුමාද රටවාසීන්ද අතර දන් දීමේ මහා තරගයක් ඇති වී, ස-වැනි වරටද රජතුමා රටවාසීන්ට වඩා උසස් ලෙස දානය පිරිනැමීමට අසමත්ව සිටියේය. හැම වාරයකදීම රටවාසීන් ජයග්‍රහණය කළ නිසා දන් දීමේ මහා තරගයෙන් පරාජයට පත් ව රජු උකටලීව සඳලුතලයේ මුල්ලකට වී කල්පනා කරමින් සිටියේය.

රජතුමාගේ අග බිසොව වූ මල්ලිකා දේවිය රජු මෙසේ කණස්සල්ලෙන් පසෙකට වී බලා සිටීමට හේතුව විමසීය. මුලදී රජතුමා නිහඬවම සිටි නමුත් තම සිතෙහි පීඩාවට හේතුව හෙතෙම පසුව අග බිසොවට සැල කළේය. ර්‍ණඔබතුමා ඒ පිළිබඳව පසුතැවෙන්න එපා. මම රටවාසීන්ගේ දාන සියල්ලටම වඩා උත්කර්ෂවත් අන්දමින් දානයක් පිළියෙල කරන්නම් මල්ලිකා දේවිය රජතුමා අස්වැසුවාය.

මල්ලිකා දේවිය සැබවින්ම බුද්ධිමත් කාන්තාවකි. කොසොල් මහ රජුගේ අනුවණකම් නිසා අනුවණ බමුණන්ගේ බස් අසා සිදු වන්නට ගිය බොහෝ විපත්වලින් රට හා රට වැසියන් බේරාගත්තේ ඇයයි. මේ අවස්ථාවේදීද ඕ රජතුමා අස්වැසූ පරිද්දෙන්ම සත් වැනි අවස්ථාවට රජතුමා විසින් දිය යුතු දානය තොමෝම සැලසුම් කරන්නට වූවාය. බුදුන් ප්‍රමුඛ භික්ෂූන්ට අසුන් ගැනීම සඳහා සපු දැවයෙන් කරන ලද චක්‍රාකාර ආසන තැනවීය. අසුන් ගත් පසු පවන් සැලීම සඳහා ක්ෂත්‍රිය කුල කන්‍යාවන් යෙදවූවාය. සෑම ආසනයක පිටුපසින් මුතුකුඩ අල්ලාගෙන සිටින ඇතුන් පන්සියයක් යෙදවීමට කටයුතු කළාය.

ගැටලුව පැනනැඟුණේ මෙහිදීය. එක් ඇතකුගේ අඩුපාඩුවක් ඇති විය. එයට විසඳුමද මල්ලිකා දේවියම භාර ගත්තාය. වනගත ඇතකු අල්ලා ඌ මෙල්ල කරගනිමින් කෙසේ හෝ දන් හල වෙත ගෙන ඒමට ඇත්ගොවුවන්ට ඕ නියම කළාය. එය එතරම් ලෙහෙසි-පහසු කාර්යයක් නොවූවත් රාජ නියමය පරිදි යදමින් බැඳ වන ඇතකු දන්හල වෙත ගෙන එනු ලැබීය. ඊළඟට පැනනැඟුණු ගැටලුව වූයේ මේ ප්‍රචණ්ඩ ඇතු සිටුවිය යුත්තේ කා අසලින්ද යන්නය. අංගුලිමාල මහ රහත් තෙරුන් පසුපසින් ඇතු රැඳවීමට මෙහිදී තීරණය කැරිණි. අඟුල්මල් තෙරුන්ට සමීප වත්ම ඇතු වලිගය පසු පා දෙක අතර සඟවමින් ඉතා බියගුලුව ඇස් දෙකද අඩවන් කරගෙන මුතු කුඩය සොඬින් ගෙන ශාන්තව සිටියේය.

මල්ලිකා දේවියගේ සැලසුම ඉනුත් අවසන් නොවීය. සුවඳ සඳුන් කුංකුම ආදි සුවඳ ද්‍රව්‍ය දමා ජලය එක් කොට භාජනවල කලතමින් සිටින කන්‍යාවන් පන්සියයක්ද යොදවා, එම සුවඳ පැන් දැමීම සඳහා රනින් හා රිදියෙන් කළ ඔරු දෙකක්ද තැනවීය. දානය සඳහා පිළියෙල කරන ලද බත් ව්‍යංජන හා අවුළුපත්වලින්ද අඩුවක් නොවීය. මෙවන් දානයක් රටවාසීන්ට නම් කිසිදා පිළියෙල කළ නොහැකි විය.

මෙසේ වූ බොහෝ වටිනා මනස්කාන්ත අංගෝපාංග සහිත මේ දානය අසදිස දානය නමින් ප්‍රචලිත විය. අසදිස යනු මේ හා සම වූවක් නැත් යනුයි. මේ අසදිස දානය සඳහා කෝටි දාහතරක මුදලක් වියදම් විය. බුදු රජාණන් වහන්සේ කෙනකුට තම ජීවිත කාලය තුළ දී ලැබිය හැකි වන්නේ මෙවන් දාන එකක් පමණි.

කොසොල් රජතුමාට කාල හා පුණ්හ යනුවෙන් ඇමැතිවරු දෙදෙනෙක් වූහ. මේ ඇමැතිවරු දෙදෙනාද දාන කටයුතුවල යුහුසුලුව නිරත වූහ.

මේ දානය ඉතා ආශ්චර්යවත්ය∙ ඉතා අගනේය. රජ කෙනකුට විනා මෙවන් දෙයක් කළ හැකි වන්නේ කාටද? අනේ සාධු` සාධු` අපට කළ හැක්කේ ඒ උතුම් දානයේ පින් අනුමෝදන් වීම පමණයි. මමද ඉතා ශ්‍රද්ධාවෙන් පින් අනුමෝදන් වෙමි යි පුණ්හ ඇමැති සාධුකාර දෙමින්ම දාන කටයුතුවල නිරත විය.

එහෙත් කාල ඇමැතිගේ සිතුම් එයට හාත්පසින්ම වෙනස් වී, රජතුමා විශාල මුදලක් නිකරුණේ වියදම් කරනවා. රජතුමාට පිස්සුද දන්නෙ නැහැ, එක දනකට දාහතර කෝටියක් වියදම් කරන්න. මේ භික්ෂූන් වහන්සේලා දන් වළඳා ගොස් නිදන-එකයි කරන්නෙ... ආදී වශයෙන් දානෝත්සවය අවසන් වන තෙක්ම එයට විරුද්ධ සිත් ඇති කරගත්තා විනා පිනක් අනුමෝදන් වූයේ නැත.

ඒ කෙසේ වේවා දානය අවසානයේදී බුදු රජාණන් වහන්සේ ර්‍ණමසුරෝ දෙව් ලොවට නොයති. අනුවණයෝ දීමෙහි අනුසස් නොදැන අනුන් දෙන දනට පවා පැසසුම් නොකරති. නුවණ ඇත්තෝ දන් දීමේ පින අනුමෝදන් වෙති. ඒ නිසාම ඒ තැනැත්තෝ පරලොවෙහිදීද සැප ලබති. යන අදහස දෙන ගාථා ධර්මයකින් පමණක් භූක්තානුමෝදනාව කොට වදාරා මාලිගයෙන් නික්මී විහාරස්ථානය වෙත වැඩම කළ සේක.

බුදු රජාණන් වහන්සේ මේ සා විශිෂ්ට වූ දානයක් අවසානයේ ප්‍රමාණවත් පුණ්‍යානුමෝදනාවක් පවා නොකොට ගාථා ධර්මයකින් පමණක් අනුමෝදනාව නිම කර වැඩමවීම පිළිබඳව කොසොල් රජු මහත් සේ දුකට පත් විය. ඔහු එකෙණෙහිම බුදු පියාණන් හමු වීමට ගොස්, එසේ කිරීමට හේතුව කිමදැයි විචාළේය.

ර්‍ණරජතුමනි, ඔබට ඇමැතිවරුන් දෙදෙනකු සිටිනවා නේද? ඉන් එක් අයකු වන පුණ්හ ඔබ දුන් ඒ මහත් වූ ආනිශංස සහිත දානයෙහි ගුණ කියමින් ඒ කටයුතුවලට ශ්‍රද්ධා සිතින්ම ඉදිරිපත් වුණා. එපමණක් නොවෙයි, හැම මොහොතකම එහි පින් අනුමෝදන් වූවා. එහෙත් කාල නම් වූ අනෙක් ඇමැතියා දාන කටයුතු පටන් ගත් අවස්ථාවේ සිටම ඒ සඳහා වියදම් කරන මුදල් කන්දරාව ඉතා අධික බවත්, එය මහා නාස්තියක් බවත් කියමින් එහි දොස් දුටුවා විනා ප්‍රශංසාවක් කළේම නැහැ. මා දානයෙහි අනුසස් වදාළා නම් අපිරිසිදු අදහස් සහිත කාලගේ හිස පුපුරා යන්නේය. දානයෙහි ආනිශංස දේශනා නොකළේ ඒ නිසායයි බුදු රජාණන් වහන්සේ රජතුමාට පැහැදිලි කළ සේක.

මෙය ඇසූ රජ තුමා බුදු රදුන්ගෙන් අවසර ගෙන වහා මාළිගය වෙත ගොස්, කාල ඇමැතියා

ගෙන්වා, ර්‍ණදානය පිළිබඳව දොස් කියකියා හිටියා විනා කිසි විටෙක වත් ඔබ පිනක් අනුමෝදන් වුණේ නැහැ නේදැ? යි විමසීය. කාල ඇමැතියා මුසාවක් නොකියා, තමා එසේ කළ බව කීවේය. රජතුමා එවිට ර්‍ණඔබ මගේ රාජ්‍යය තුළ නොසිටිය යුතු

පුද්ගලයෙකි. ඔබ මගේ රාජ්‍යයෙන් පිටමං විය යුතුයි කියා ඔහුට අයත් සියලු දේපොළ පුණ්හ ඇමැතිටම දී කාල ඇමැති රටින් පිටමන් කර දැමීය. ඉන් පසු කොසොල් මහරජු දින සතක් පුරා පුණ්හ ඇමැති හට බුදුන් ප්‍රමුඛ මහ සඟනට රජ මාළිගය තුළම දන් දීමට සැලැස්වීය. මේ දන් වැට අවසානයේදී බුදු පියාණන් දේශනා කර වදාළ ධර්මය අසා හෙතෙම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.

ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි මුලටම දැක්වෙන්නේ දානයයි. දානය යනු තණ්හාව දුරු කළ හැකි කදිම පින්කමකි. තෘෂ්ණාව තිබේ නම් ශීලය හා භාවනාවද ප්‍රතිඵල දායක නොවේ. අත්හරින තරමට භාවනාවද වැඩේ. බෝධිසත්ත්වයන් වහන්සේගේ මුල්ම පාරමිතාවද දාන පාරමිතාවයි. ඇලීම දුරු වූ විට සෙසු ධර්මතා පහසුවෙන්ම සපිරේ. මනුෂ්‍ය ලෝකයේ ලබන උපත ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීම සඳහා යෝග්‍ය උපතක් බවට පත් වන්නේ දානානිශංස වශයෙනි.

ඇතැම් පුද්ගලයෝ දන් දීමෙහි නොකැමැති වන අතර, දන් දෙන අයටද නිග්‍රහ කරති∙ ඔවුන් ඉන් වළක්වති. දන් දීමට තරම් වත් කම් නැති ඇතැම්හු අනුන් දෙන දානයට ඉත සිතින් සහභාගි වන අතර, දානයෙහි ගුණ වනමින් පින් අනුමෝදන් වෙති. කෙසේ වුවද දන් දීමෙහි දී සම්මාදිට්ඨියෙහි පිහිටාම එය කළ යුතුය. මතු සැප-සම්පත් බලාපොරොත්තු වේ නම් එය මුදල් පොලියට දීමක් හා සමාන වේ. උතුම් වන්නේ අත්හැරීමෙන්ම දෙන දානයයි.
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...