Saturday 19th of January 2019

"පොඩි පුතා කිව්වා තාත්තෙ දාන්න එපා කියලා - පිච්චිලා මැරෙනවට වඩා ජීවිතේ බේරගන්න ඕන නිසයි මෙහෙම කළේ"දරුවන් තිදෙනාගේ ජීවිතය බේරාගත් වීර පියා කියන කතාව

2019 - 01 - 09       
feature-top
මහනුවර යටිනුවර වීදියේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගිනනට මැදිවී සිටි සිය දරුවන් තිදෙනා සහ බිරිඳ බේරා ගනිමින් තමන්ගේ ජීවිතයද බේරාගත් වීර පියෙකු ගැන මේ වන විට රටේම කතා බහට ලක්ව තිබෙනවා. බණ්ඩාරවෙළ ප්‍රදේශයේ පදිංචි රාමන් රාජ් නමැති මෙම වීර පියා තමන්ගේ දරුවන්ගේ ජීවිතය කෙසේ හෝ බේරා ගන්නා බවට ඇති කර ගත් අධිෂ්ඨානයෙන් යුතුව සිය දරුවන් ඉතා ආරක්ෂිතව තෙවන මහලේ සිට පහළට දමා ඔවුන්ගේ ජීවිතය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබුණා.

තමන්ගේ දරුවන් ඇතුළු සිය පවුල බේරා ගැනීමට උදව්කළ සියළු දෙනාටම ස්තූති කරමින් තමන්ගේ දරුවන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ගත් ක්ෂණික තීරණය ගැන මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙලෙසින්.

ගින්න වේගයෙන් ආවා. කරන්න දෙයක් නැති නිසා මට සිදුවුණේ ඔවුන් පහතට දමන්නයි. පොඩි පුතා කිව්වා -තාත්තා දාන්න එපා" කියලා. ඒත් පිච්චිලා මැරෙනවාට වඩා කොහොම හරි ජීවිතය බේරා ගන්න ඕනෑ නිසයි මෙහෙම කළේ.

මගේ දරුවන් තිදෙනාගේ වයස අවුරුදු අට, අවුරුදු හය හා අවුරුදු තුනයි මාස හයක් වෙනවා. මම පහතට ඇඳ ඇතිරිල්ලක් විසි කළා. ප්‍රදේශවාසීන් එය අල්ලාගෙන දරුවන් රඳවා ගැනීමට සූදානම් වුණා. පසුව මම මෙට්ටයක් බිමට විසි කළා. නමුත් එය හරියට පහතට වැටුණේ නැහැ.

පුතාලා තිදෙනාව මම පහතට දැම්මා. රැස්වූ අය දරුවන් බේරා ගත්තා. බිරිය පනින්න සූදානම් වෙද්දී මම කිව්වා ටිකක් පහතට යමු කියලා. මම වීදුරුවක් කඩලා පහත මාලයට ආවා. බිරිය යකඩ බටයක එල්ලී ආවා. ඇය බර වැඩි නිසා මගේ අත වීදුරුවලට කැපෙන්න ගත්තා. මට ඇය රඳවා ගැනීමට හැකි වුණේ නැහැ. බිරිය බිමට වැටුණා. නමුත් රැස්වූ පිරිස ද ඇයට අනතුරක් නොවන ලෙස අල්ලා ගත්තා.

මට තුවාල සිදුවූ නිසා ඉන්න අමාරු වුණා. ක්ලාන්තය වගේ දැනුණා. මම ආධාරකවලින් පැමිණ පහළට පැන්නා. අපි සියල්ලට සුළු තුවාල සිදුවුණා. අපිව මහනුවර මහ රෝහලට රැගෙන ආවා. අපිව බේරාගත්තු ජනතාවට, පොලිසියට, ගිනි නිවන ඒකකයේ කාර්යය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

(under the courtesy of nethgossip.lk news web)

More News »