Thursday 17th of January 2019

විකල්ප මාර්ග නොදුටු පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

2019 - 01 - 12       
feature-top
පොලිස් නිලධාරියෙකු නිවස බලා යාමේදි අනතුරට පත්ව ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හොරණ පොලීසියේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල් ජගත් කුමාර වීරතුංග නැමැති 49හැවිරිදි පුද්ගලයෙකි.

මෙම අනතුරට මොහු මූණ පා ඇත්තේ  බුලත්සිංහල ඈගල්ඔය මීගහකුඹුර ප්‍රදේශයේ තම මිතුරකුගේ දියණියකගේ මල්වර උත්සවයට පැමිණ රාත්‍රී 11ට පමණ තම නිවස බලා යන අතරතුරදීය.  

අංක 267 ඒ දම්මුල්ල-කරඳණ, ඉංගිරිය පදිංචි මෙම නිලධාරියා දෙදරු පියෙක් වන අතර වයස අවුරුදු 06 හා මාස 11යන වයසේ පසුවන දරුවන් සිටින අතර බිරිඳ ඉංගිරිය රෝහලේ හෙද නිලධාරිනියකු ලෙස සේවය කරයි.  

ගම්වාසියෙකු යතුරුපැදිය හා මළසිරුර දැක බුලත්සිංහල පොලීසිය දැනුවත්කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණ එම අනතුර පිළිබඳ මූලික පරීක්ෂණ සිදු කළ අතර බුලත්සිංහල හදිසි මරණ පරීක්ෂක සරත් සූරියආරච්චි මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකරන ලදි.

ඈගල්ඹය මීගහකුඹුර මාර්ගය මෑතකදි කාපට් යොදා පිළිසකර කලද එම මාර්ගයේ ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කරන ස්ථානයක මෙම අනතුර සිදුවී ඇත.

එම බෝක්කුව ගලවා ඉවත්කර අළුතින් ඉදිකරන අතර ඒ අසල වූ විකල්ප මාර්ගය යතුරුපැදිකරු නොදැකීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව බුලත්සිංහල පොලිසිය පවසයි.  

මීගහකුඹූර ප්‍රදේශයේ ජනතාව මෙම මරණයත් සමඟ ඇගල්ඔය මංසන්දියේ අගලවත්ත හොරණ මාර්ගයේ හා ඈගල්ඔය ඉංගිරිය මාර්ගය අවහිර වන අයුරින් පාර වසා උද්ඝෝෂණයක නියලෙන්නේ මෙම මාර්ගය සංවර්ධනයේ ඇති අක්‍රමිකතා හේතුවෙන් මෙම මරණය සිදුවු නිසා මේ සඳහා අදාල සංවර්ධන ව්‍යාපෘති භාර ආයතනය මෙම මරණයට වගකිව යුතුයි ලෙස පවසමිනි. (under the courtesy of adaderana.lk news web)

More News »