වසංගතය දුරු කිරන්න ජනපතිට ශක්තියක් වීම ජාතික වගකීමයි-ගැටඹේ රාජෝපවනාරාමාධිපති

.
2020 - 03 - 24       
feature-top
මේ මොහොතේ ජනතාවට ඇත්තේ සෘජු නායකත්වයට අවනත වී ආත්මාර්ථයෙන් බැහැරව එකාවන්ව නැඟී සිට, බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් අනුව ක‍්‍රියා කිරීම පමණක් බව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් නිවේදනය කළේය.

කොරොනා වෛරසය ව්‍යාප්ති වීම වැලැක්වීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගෙන යන ක්‍රියාවලියට සහය වීම ජාතික වගකීමක් බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් අද (24) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

අදාල නිවේදනයේ සඳහන් තොරතුරු පහත පරිදි වේ.


"ජාති” කුල” ආගම්” ගෝත‍්‍ර බල” දුබල භේද අර්ථ ශුන්‍ය කරවමින් කොරෝනා වෛරසය මුළුමහත් ලෝකයම භීතියටත්” පීඩනයටත් පත් කර හමාරය.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් දැවැන්තම වසංගතය සිදුවූයේ අසල්වැසි ඉන්දියාවේ විශාලා මහනුවරයි.

 නූතන තාක්ෂණයත් යහපත් මිනිසුන්ගේ උදාර චින්තනයත් සංහිඳියාවත් නොවන්නට මානව වර්ගයා මේ මොහොත වන විට අවසන් වනු ඇත.

අද දවස වන විටත් දහස් ගණනින් මෙලොව හැර ගිය වුන් කවුරුන්ද? කාගේද?කොතැනක මිහිදන් කළෝ දැයි නොදන්නා තරමට ව්‍යසනය උත්සන්න වෙමින් පවතී.

ඉතාලිය අද පාලකයින් පවා අතහැර දමන තත්වයට පත්ව ඇත්තේය.

චීනයෙන් ඇරඹියද ඔවුන් එයින් අත්මිදෙමින් පවතින අතර ඉතාලිය අද මළවුන්ගේ දේශයක් බවට පත් වෙමින් පවතී.

ඇතැම් රටවල් එය සාර්ථකව පාලනය කරයි.

මියන්මාරය රුසියාව වැනි රටවල පවතින පාලනය කළ හැකි ජන විඥානය විසින් විනයක් පවත්වාගෙන යා හැකිව තිබේ.

පාලකයා නායකයා බව පිළිගනී.ඔහුට අනුගත වේ. ඒ අනුව හැම උවදුරක්ම දුරලීමට සමත්ව ඇත්තේය.
 
අද අප රටේ වෛද්‍ය, ආරක්ෂක පරිපාලන ව්‍යාපාරික ගොවි කම්කරු ඇතළු සෑම ක්ෂේත‍්‍රයකම ජනතාව පෙළ ගැසී මෙම ව්‍යසනය පරාජයට යත්න දරති.

වර්ථමාන සෞඛ්‍ය අමාත්‍ය තුමිය ඇතුළු වෛද්‍ය හා සියළු අංශයන් හි අධිශ්ඨානය වී ඇත්තේ කොරෝනා රකුසාට එක් ජීවිතයක් වත් බිලි නොදීමටය.

ශ්‍රේෂ්ඨ ඓතිහාසික චින්තනයක් තුළ වසර දහස් ගණනක් පෝෂණය වූ අග්මුල් ඇති ජාතියට ව්‍යසනයක අවසන් හෝරාවේ ගැළවුම් කරුවෙකුගේ පහළ වීම ඓතිහාසික සංසිද්ධියකි.

30 වසරක මහා දැවැන්ත ත‍්‍රස්ථවාදී උවදුර දුරලීමත් වසර හතර හමාරක් තුළ රටේ සියල්ල අකා මකා දමමින් අන්තවාදී අවිචාරවත් උමතු පාලනයකින් ගලවා ගැනීම පමණක් නොව බලය ලබා මාස තුනක් ඉක්ම යාමටත් පෙර ලොවම බිය කළ දිනපතා මිනිසුන් දහස් ගණනින් මරණයට පත් කරමින් පවතින මේ කොරෝනා උවදුරින් ජය ගැනීමට රට තුළ සාර්ථක විශ්මිත මෙහෙයුමක් දියත් කරමින් අතිගරු ජනපති තුමන් ඉටු කරන මෙහෙවරට මුළු මහත් ජාතියේ ප‍්‍රණාමය හිමි විය යුතුය.

දැවැන්ත ලෙස සොරා කෑ රටක ඉතිරි කළ හපය තුළ මේ සා විශාල වියදමක් දරමින් ආර්ථිකය කළමණාකරනය කරන අයුරු වියත් පාලනයක සුවිශේෂීත්වය ප‍්‍රකට කරයි.

රටක් අවැසි වන්නේ ජනතාවක් ඇත්නම් පමණි. ඔවුන්ගේ හදගැස්ම වහා තේරුම් ගත් අයෙකුට රටක පාලනය අරුමයක් නොවන බව පසක් කර මේ මොහොතේ අසීමිත සහන සැපයමින් කරන මෙහෙය පැසසිය යුතුය.

ඇතමුන් වහා පාර්ලිමේන්තුව රුස් කරන්නයැයි කෑමොර දෙති. වඳ පීදුනු පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් ඇති ඵලය කුමක්ද? පටු දේශපාලන කුහකත්වයෙන් කොරෝනා පාලනය කළ හැකිද?.

ජනතාව වෙනුවෙන් මුදල් පනත් වත් සම්මත කිරීට ඉඩ නොදීමෙන්ම ඒ බව පැහැදිලිය. 19 වන සංශෝධනයෙන් විකෘති කළ රටට අවැසි බලය සීරුවෙන් සිට භාවිතා කරමින් ජනපති තුමන් ජාතියට නායකත්වය සපයයි.

එදා රණවිරුවන් පාවාදීමට ඉඩ හලේ නම් හා අන්තවාදීන් සමඟ පසුගිය සෞඛ්‍ය බලධාරීන් සතුව බලය පැවතියේ නම් අද විට වන සියල්ල සිදුවී හමාරය.

දැන් රට නිසි මඟය” පැහැදිලිය” විවෘතය” තොරතුරු සැඟවීමේ පණතක්ද නැත.

එබැවින් මේ මොහොතේ ජනතාවට ඇත්තේ සෘජු නායකත්වයට අවනත වී ආත්මාර්ථයෙන් බැහැරව එකාවන්ව නැඟී සිට, බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් අනුව ක‍්‍රියා කිරීම පමණි."

(under the courtesy of adaderana.lk news web)

More News »