News

මහ බැංකුවේ පඩි වැඩිකිරීම ගැන ප්‍රශ්න කිරීමට සැරසෙයි

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් 70% කින් වැටුප් වැඩිකරගෙන ඇතැයි පැවසෙන කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි ප්‍රධානීන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයකට කැඳවීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවද වාර්තා වුණා.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී මහ බැංකු නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩි කරගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළේ දැඩි විවේචනද එල්ල කරමින්.

මෙම කරුණ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත් මාවනැල්ල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ මෙම අවස්ථාවේ මහ බැංකු නිලධාරීන් සිය පඩි වැඩි කර නොගත්තේ නම් යහපත් බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට ගෙන්වා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

Scroll to Top