News

ශ්‍රී පාදස්ථානයේ දැඩි තදබදයක්

නවම් පෝයත් සමඟ යෙදුන මෙවර සති අන්තයේ නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා ලක්ෂ එක හමාරකට ආසන්න පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර පවසනවා.

එහිදී වන්දනාකරුවන් අධික නිසා නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රීපාද මළුවේ සිට සීතගඟුල දක්වා දැඩි තදබදයක් පැවැති බවත්, තමන්ට එකම ස්ථානයේ පැය කීපයක් රැඳී සිටීමට සිදු වූ බවත් පැමිණි වන්දනාකරුවෝ පැවසූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

නල්ලතන්නිය නගරයේ පිහිටි ප්‍රාදේශිය සභා රථගාල හා පෞද්ගලික රථ ගාල් සියල්ල වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් හා වෑන්රථ වලින් පිරී යෑම නිසා නල්ලතන්නිය-මස්කෙළිය මාර්ගයේ කිලෝමීටර් 04 ක් පමණ දුරක සිට හැටන් ප්‍රදේශය දක්වා මාර්ගය දෙපස දැඩි රථවාහන තදබදයක් පවතින බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාව අඛණ්ඩව සිදු කරන බවත්, ඒ අනුව නීතිවිරෝධී හෑෂ් මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදය බලා පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් නල්ලතන්නියේදී ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවත් නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Scroll to Top