News

සැකසංකා දුරු කරමින් බයිඩන් ම ජනපතිවරණයට තරග කරන බව කියයි

එක්සත් ජනපද ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එම මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් ජනපති ජෝබයිඩන් අතර ඉකුත් සතියේ පැවැති විවාදයෙන් අනතුරුව පසු බෑමකට ලක්ව සිටින වත්මන් ජනපති ජෝ බයිඩන් ඒ සඳහා තරග නොකරනු ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත් වීමට නියමිත එම මැතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් ඉදිරිපත් වනු ඇති බවට මින් පෙර වාර්තා පළ වුවත් ඒවා අසත්‍යක් කරමින් බීබීසී වෙබ් අඩවිය අද වාර්තා කරන්නේ, ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ම ඉදිරිපත් වීමට නියමිත බවයි.

එම පුවත් සේවය සිය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ, වත්මන් ජනපතිවරයා සහ උප ජනාධිපතිවරිය ධවල මන්දිරයේ දී සංවෘත දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වී ඇති බවත් එහි දී ඔවුන් එම එකඟතාවට පැමිණ ඇති බවයි.

අනතුරුව ඔවුන් දෙදෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ පෙළ සමාජිකයන් සමග දුරකතන සංවාදයකට යොමු වූ බවත්, එහි දී තමා නිසැකවම ජනාධිපතිවරණය සඳහා තරග කරන බවත්, උප ජනාධිපති කමලා හැරිස් ඇයගේ සහයෝගය ඔහු වෙත නිරන්තරව ලබා දෙන බවත් අවධාරණ කළ බවත් එම පුවත් වාර්තාව වැඩිදුරටත් පවසනවා.

එහි දී වත්මන් ජනපති ජෝ බයිඩන් විසින්, “මම ඩිමොක්‍රටික් පක්ෂයේ නාමිකයා. කවුරුවත් මාව එළියට තල්ලු කරන්නේ නැහැ. මම යන්නේත් නැහැ” ‍යනුවෙන් ද පැවසූ බව එම පුවත් වාර්තාව වැඩිදුරටත් වාර්තා කරනවා.

මේ අතර ඉන් පැය කිහිපයකට පසුව Biden-Harris මැතිවරණ ව්‍යාපාරය විසින් යවන ලද අරමුදල් රැස්කිරීමේ විද්‍යුත් තැපෑලක ද එම වාක්‍ය ඛණ්ඩය අන්තර්ගත වී ඇති බව එම මාධ්‍ය වාර්තාව සඳහන් කළා.

Scroll to Top