News

අතරමග නැවැතුණු ජල ව්‍යාපෘතිය

ජනතා බදු මුදලින් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නිසි ප්‍රමිතියකින් තොරව පැවතීම හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව සම්බන්ධයෙන් අප නිරන්තරයෙන් වාර්තා කරනවා.

මිනිපේ ගොවි ජනපදයේ ජනතාවද දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ එවැනි ජල ව්‍යාපෘතියක් හේතුවෙන්.

වර්ෂ 1953 දී ආරම්භ වූ මෙම මිනිපේ ගොවි ජනපදයේ ජීවත් වන පිරිසෙන් බහුතරයකගේ ජීවනෝපාය වනුයේ කෘෂිකර්මාන්තයයි.

මෙහි මුත්තෙට්ටුතැන්න සහ මිණිපේ අඹ ගහ පැලැස්ස යන ග්‍රාම සේවා වසම් තුළ ජීවත්වන පවුල් 600ක ජනතාවට ප්‍රෙද්ශයේ ඇති ලින් කිහිපයකින් සිය පානීය ජල අවශ්‍යතා සපුරාගැනීමට සිදුව තිබීම හේතුවෙන් එම ජනතාව පත්ව ඇත්තේ මහත් අසීරුතාවයකටයි.

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට ළිඳකින් ජලය ලබා ගැනීමට පවුල් හතළිහක් පනහක් පමණ සිටින අතර, ඔවුන්ට කිලෝමීටරයකට වඩා දුරක් ඒ සඳහා පයින් ගමන් කිරීමට ද ඔවුන්ට සිදුව තිබෙනවා.

කෙසේවෙතත් ගම් වදින වන අලීන් හේතුවෙන් ඒ ආකාරයෙනුත් ඔවුනට ජලය ලබාගැනීමට හැකියාව ඇත්තේ සවස් කාලය වනතුරු පමණයි.

මෙම ගම්මාන වලට ජලය සපයා ගැනීම සඳහා රුපියල් කෝටි එකහමාරක් පමණ වැය කර පානීය ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කර තිබුනත් දැනට වසර දෙකහමාරක පමණ කාලයක සිට මෙම ජල යෝජනා ක්‍රමය අක්‍රියව පවතින බවයි ප්‍රදේවාසීන් පවසන්නේ.

මෙම ජල යෝජනා ක්‍රමයට ජලය ලබාගැනීම සඳහා ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ ලින් තුනක් කපා ඇති අතර ඊට අමතරව නළලිඳක්ද ඉදි කර තිබෙන්නේ ජනතා බදු මුදල් විශාල ප්‍රමාණයක් ඒවාට යටකරමින්.

එලෙස ඉදිකළ නළලිඳෙන් වසර දෙකක කාලයක සිට ජලය උතුරා යන්නේ ව්‍යාපෘතිය සඳහා යෙදූ ජනතා බදු මුදල් නිකරුනේ සොදාපාලුවට ලක්කරමින්.

මෙසේ වසර දෙක හමාරක් පමණ කාලයක සිට නිකරුනේ වතුර උතුරා යද්දි ප්‍රදේශයේ ජනතාව බීමට දිය පොදක් සොයා කිලෝමීටර් ගණන් පයින් ගමන් කරන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම ජල යෝජනා ක්‍රමය සක්‍රීයකර බීමට ජලය සපයා ගැනීමට කටයුතු කර දෙන ලෙසයි.

Scroll to Top