සායනවලට සහභාගිවීමට නොහැකිව රෝගීන් ගැටළුවක

Base.lk 6:49 AM Technology

රෝහල්වල සායනවලින් ඖෂධ ලබාගන්නා රෝගීන් රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තාවනවා.

වකුගඩු රෝගය, පිළිකා, දියවැඩියාව, හෘද රෝග වැනි රෝගවලට ඖෂධ ලබාගන්නා රෝගීන් පවසන්නේ පවතින තත්ත්වය හමුවේ සායන වෙත ගොස් ඖෂධ ලබාගැනීමෙන් තම ජීවිත අවදානමට ලක්වන බවයි.

ඒ හේතුවෙන් පෙර කොරෝනා වසංගත තත්වය අවස්ථාවේ ඖෂධ තැපෑල මගින් බෙදාහැරීම සිදුකළ ආකාරයේ වැඩපිළිවෙලක් යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

වකුගඩු බද්ධ කිරීමට ලක් කළ කොළඹ ජාතික රෝහලේ වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ලබාගන්නා ඉතා දුරබැහැර ප්‍රදේශවල රෝගීන් කිහිපදෙනෙකු තමන් පත්ව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ඉල්ලා සිටියේ කඩිනමින් ඊට විසඳුමක් ලබාදෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ සායනවලට පැමිණෙන වකුගඩු බද්ධ කිරීම් සිදුකළ රෝගීන් එන්නත්කරණයට ලක් කර ඇති බැවින් සායනවලට ගෙන්වාගැනීම ගැටළුවක් නොමැති බවයි.  

මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින ගර්භනී මව්වරුන්ට හදිසි අවශ්‍යතාවක් හෝ රෝගී තත්වයක් ඇතිවුවහොත් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දුරකථනයෙන් අමතා උපදෙස් ලබාගන්නා ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා දැනුම් දෙනවා. 

Similar Post You May Like

Recent Post

Blog Archive