ගංවතුර අඩු වේගයකින් බැස යයි -15,000 ක් තවමත් අවතැන් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හට ගත් ගංවතුර තත්ත්වය තවදුරටත් අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එම අඩුවීම මන්දගාමීව සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. ආපදාවලින් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 14 ක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ක, පුද්ගලයින් දෙලක්ෂ 45,212 ක් පීඩාවට පත්ව ඇති බවයි. එසේම, පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මීට අමතරව, සුරක්ෂිත මධ්‍යස්ථාන 72 ක පුද්ගලයින් 15,658 දෙනෙකු තවදුරටත් රැදී සිටින අතර, ඔවුන් පවුල් 3520 කට අයත්.

විවෘත කර තිබූ තබ්බෝව ජලාශයේ වාන්දොරටු සියල්ල මේ වනවිට වසා දමා ඇති අතර, ඉඟිනිමිටිය හා දැදුරු ඔය යන ජලාශවල වාන්දොරටු 4 බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉදිරි දින කිහිපයේදී ගංවතුර තත්ත්වය පහව යනු ඇති බව ද, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර කියා සිටියා.  

මේ අතර, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නායයාමේ අවදානම හෙට පස්වරු 4.30 දක්වා දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

ඒ අනුව, ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු දුම්රිය මාර්ගය ජලයෙන් යටවී ඇති අතර, ගම්පහ - ජා-ඇල මාර්ගයේ ගමනාගමනයට ද බාධා මතුව තිබෙනවා.

එසේම, ගනේමුල්ල - කඩවත මාර්ගයේ ගමනාගමනයට ද කිරිඳිවිට ප්‍රදේශයෙන් බාධා මතුව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

අධික වර්ෂාවත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන් 27 දෙනෙකු නාවික හමුදා සහන කණ්ඩායම විසින් මුදා ගෙන තිබෙනවා.

ඒ අනුව, කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු මෙලෙස මුදාගෙන ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව සඳහන්.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට දිනයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් හෙට දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive