ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් විකිණීමේ තීරණයට, ඇඩික් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් හරස් වේ

Base.lk 6:49 AM Technology

ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් ගෙන්වා ගැනීමට රජය කටයුතු කිරීම හේතුවෙන් සුරාබදු ආඥා පනත උල්ලංගණය වී ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මත්පැන් විකුණන ස්ථානයේ ස්වභාවය, විකිණිය යුත්තේ කුමන පුද්ගලයින්ට ද සහ ලබාදෙන වේලාවල් ආදී සියළු නීතිමය තත්ත්වයන් මේ හරහා උල්ලංගණය වන බවයි.

එසේම 2006 අංක 27 දරණ මධ්‍යසාර හා දුම්කොළ ජාතික අධිකාරී පනතේ 31 වන වගන්තියට අනුව වයස අවුරුදු 21ට අඩු තැනැත්තෙකුට මධ්‍යසාර හා දුම්වැටි අලෙවි කිරීම නීතියෙන් තහනම් වන අතර, ඒ අනුව එය ද මෙම ක්‍රමවේදය හරහා උල්ලංඝනය වන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ.

එසේම ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් මිලදී ගැනීමේ හැකියාව ඇත්තේ ඉතා සීමිත පිරිසකට වන බැවින් ඔවුන් එලෙස මත්පැන් මිලදී ගෙන වැඩි මිල ගණන් යටතේ ඒවා නැවත අලෙවි කිරීමේ අවස්ථාවන් ද මේ හරහා නිර්මාණය විය හැකි බවයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

එමෙන්ම, කොරෝනා වෛරස ව්‍යාප්තිය වැඩිවීමට මත්පැන් භාවිතය බලපාන බවත්, පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට ද මත්පැන් බලපාන බවත් ඒ හරහා එන්නත්වල ඵලදායීතාවය අඩුවන බවත් විද්වතුන් අවස්ථා ගණනාවකදීම විද්‍යාත්මක කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇති පසුබිමක මෙවන් තීන්දු තීරණ ගැනීම පුදුමසහගත බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැදවූ අතර එහිදී එම සංගමය ද ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් විකිණීමට ගත් තීරණයට විරෝධය පළ කර සිටියා.

මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 63 දෙනෙකු පමණ මිය යන අතර කොරෝනා ආසාදිතව මේ වන විට පුද්ගලයින් 60ක් පමණ මිය යන බවයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මොහොතක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හෝ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා නිසි ක්‍රමවේදයක් රට පුරා තවමත් ක්‍රියාත්මක නොවන මොහොතක මත්පැන් අලෙවිය සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම ලැජ්ජාසහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කර සිටියේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive