කොතලාවල පනත් කෙටුම්පත ලබන 6 වනදා විවාදයට - ගුරුවරුන් හෙට කොළඹට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පත ලබන මස 6 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදියි.

අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් පසුගියදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ පළමු දින විවාදය පැවැත්වුණා.

කෙසේ වෙතත්, වෙනත් දිනයක අදාළ විවාදය පැවැත්වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විපක්ෂය ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේයි.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව පැවති විරෝධතාවලදී නිරෝධායන නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිරෝධායනයට ද යොමු කෙරුණා.

කෙසේ වෙතත්, පසුගිය දා පැවති වැඩසටහනකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවයි.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහරගම - පතිරගොඩ ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කළේ විවාදයට පෙර මෙම පනත් කෙටුම්පත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාශ උපදේශක කාරක සභාවේ දී සලකා බලන බවයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත හකුලා ගන්නැයි රජයට බල කරමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

මේ අතර, වැටුප් විෂමතාව ඇතුලු තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති සංගම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වී අදට දින 10ක් ගතවනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ හෙට දිනයේදී ගුරුවරුන් කොළඹට කැදවා විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම, ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ලබාදෙන ඉල්ලා අද පෙරවරුවේ රත්නපුර නගරයේ දී ගුරු විදුහල්පති වෘත්තිය සමිති විරෝධතාවක නිරතවුණා.

මේ අතර, රාජ්‍ය බදු ආදායමෙන් සියයට 86ක්ම රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කිරීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති  මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට නම් ජනතාව මත පනවන බදු ඉහළ දැමිය යුතු බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive