ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස් රථ 11ක් පොලිස් භාරයට

Base.lk 6:49 AM Technology

අද සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පොලිස්පතිවරයාට ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව එලෙස ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස් රථ 11ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙරට ක්‍රියාත්මක කඩිනම් එන්නත්කරණ වැඩසටහන යටතේ දියත උයන පරිශ්‍රයේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මකයි.
ගෙවුණු දිනයේත් එන්නත් ලබාගැනීම සඳහා ජනතාව දැඩි උනන්දුවකින් සහභාගී වීසිටියේ මෙලෙසින්.

විහාරමහා දේවි එළිමහන් රංග පීඨ පරිශ්‍රයේද යුද හමුදාව මැදිහත්ව පැය 24 පුරා ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහනට ඉහළ ජනතා සහභාගීත්වයක්
දක්නට ලැබෙනවා.

ඒ අනුව ගෙවුණු දිනයේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 25,509කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයන් 116,664කට ලබාදී තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ 144,766කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයන් ගණන 9220ක්.

ඊට අමතරව මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ගෙවුණු දිනයේ පුද්ගලයන් 1155කට ලබාදී තිබෙනවා.

ඒ අනුව ගෙවුණු දිනයේ පමණක් මෙරට එන්නත්කරණයට ලක් වූ සමස්ත පුද්ගලයන් ගණන 297,314ක්.

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2425 දෙනෙකු හඳුනා ගැණුනා.

ඉන් 2423 දෙනෙකු දේශීයව හඳුනාගත් අලුත් අවුරුදු පොකුරේ ආශ්‍රිතයන්වන අතර දෙදෙනෙක් විදෙස් රටවල සිට පැමිණි අයයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ 16,219 දක්වා ඉහළ ගියා.

මේ වන විට කොවිඩ් ආසාදිතයන් 282,770ක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයන් 28,878 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ධාරිතාවද මේ වන විට ඉක්මවා ගොස් තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 74ක් ඊයේ වාර්තා කළා

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගියා.

අතුරුගිරිය පෝරේ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගනයේ අධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික කොළඹ නව කෝරලයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නායක හිමියන් කොවිඩ් ආසාදනය වීමෙන් අපවත් වී තිබෙනවා.

අපවත්වන විට උන්වහන්සේ පසු වූයේ 63වන වියේයි.

මේ අතර වැඩිහිටියන් කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාගැනීම තුළින් මරණ අනුපාතය අවම කරගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර ගිරිඋල්ල - පුස්කොළදෙණිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු ප්‍රතිකාර වෙත යොමු කිරීමට යාමේදී නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අදාළ ආසාදිතයාගේ පියා පහරදීමට තැත් කර කෙළ ගැසූ සිද්ධියක් වාර්තාවනවා.

මේ අතර කෑගල්ල මහ රෝහලට කෝටි 2ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ සහ අධි ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය ඇදන් පරිත්‍යාග කිරිමක් ප්‍රදේශයේ ධානපතියන්ගේ ආධාරයෙන් සිදු කෙරුණා.

මේ අතර අද සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ
කටයුතුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය අද දිනයේ මගී බස් රථ පරීක්ෂාවට ලක්කරන අයුරු නිරීක්ෂණය වුණා.

පොලිසිය පැවසුවේ ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස් රථ 11ක් සිය භාරයට ගත් බවයි.

කෙසේ වෙතත් පොදු ප්‍රවාහන සේවාවක්වන දුම්රිය සේවය සම්බන්ධයෙන් එවැනි නියෝගයක් නිකුත් කර නොමැති අතර අදත් දුම්රිය වල මගීන් විශාල පිරිසක් ගමන් කළේ මෙලෙසින්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive