ගුරු විරෝධයට එක්වූ 44ක් අත්අඩංගුවට - රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලටත් යොමු කරයි

Base.lk 6:49 AM Technology

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවති ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ මෙම පිරිස අතර ගුරුවරුන් 22ක්, ගුරුවරින් 16ක් සහ විරෝධතාවට සහභාගී වූ පිටස්තර පුද්ගලයන් 6 දෙනෙකු වන බවයි.

මෙම 44 දෙනාට කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.

අත්අඩංගුවට ගත් පිරිස හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා රටේ පවතින වාතාවරණය හේතුවෙන් මෙලෙස උද්ඝෝෂණ නොකරන ලෙසට දැනුම්දීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් එම දැනුම්දීමට උද්ඝෝෂකයින් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔවුන් පැමිණී වාහන 10ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අයුතු අවහිරය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ ක්‍රියාත්මක වන නිරෝධායන නීති රීතින් උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive