බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිකුරාදා (15) සිට යළි ඇරඹෙයි

Base.lk 6:49 AM Technology

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන සිකුරාදා (15) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමග බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පවත්වන ලද සාකච්ඡාවකදී ඇති කර ගත් එකගතාවකට අනුවයි.

ඒ අනුව මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාදීම බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුවෙන්, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සිදුකරන බවයි බස්නාහිර පළාත් මාධ්‍ය අංශය නිවේදනය කළේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම් හේතුවෙන්, දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට පසුගිය දිනවල බාධා එල්ල වුණා.

එය අඛණ්ඩව සිදුනොවීම හමුවේ මහජනතාව අසීරුතාවයකට පත්වීම වැළැක්වීම සම්බන්ධයෙන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමඟ අද සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

ඒ අනුව ඔවුන්ගේ එකඟතාවය මතයි පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිකුරාදා දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.

ලබන 27 වන දින සිට දැනට පවතින පරිගණක පද්ධතියේ ධාරිතාව සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියළුම වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යථාවත් කිරීමට අපේක්ෂා කරන බව බස්නාහිර පළාත් මාධ්‍ය අංශය සඳහන් කළා.

එමෙන්ම, අද (2021.10.13) පස්වරු 5.00 සිට පසුදා පෙරවරු 7.00 දක්වා www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැලසීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය කර තිබෙනවා.

මීට පෙර දැන්වූ පරිදි 2021.08.12 දින සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර හිමියන්ට 2021.12.31 වන දින දක්වා ලබාදී ඇති සහන කාලය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළා.

 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive