උද්ධමනය පාලනය කර ගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතුමයි - ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

Base.lk 6:49 AM Technology

මිල පාලන ගැසට් ඉවත් කර ගැනීමත් සමග මර්ධිත උද්ධමනය විවෘත උද්ධමනයක් බවට පත් වී ඇති බවත් එය එක්වරක් පමණක් සිදුවන මිල වැඩිවීමක් ලෙස සීමා කරගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන පවසනවා.  

පවතින උද්ධමනකාරී ආර්ථික පරිසරය පිළිබඳ විග්‍රහයක නිරත වෙමින් ආචාර්‍ය විජේවර්ධන වැඩිදුරටත් පවසන්නේ මහ බැංකුව තව දුරටත් මුදල් අච්චු ගැසීම කර ගෙන ගියහොත් එය අධි උද්ධමනයක් බවට පත් වීම නොවැලැක්විය හැකි බවයි.

එසේම විනිමය අනුපාතය පිළිබඳවත් එය එසේම ආදාළ වන බවයි ආචාර්ය විජේවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.

"අද ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම සහ එමගින් ඇතිවිය හැකි උද්ධමනකාරී බලවේගය අපට හඳුන්වන්න පුළුවන් මර්ධිත උද්ධමනයක් ඉවත් කළ පසු පැන නැගුනු තත්ත්වයක් හැටියට. මෙතෙක් කල් රජය ක්‍රියාත්මක කළේ ගැසට් මගින් උපරිම සිල්ලර මිලක් නියම කරලා, ඒ මගින් වෙළෙඳපොළ මර්ධනය කිරීමයි. නමුත් රජයට තවදුරටත් එම කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින නිසා."

"මේ නිසා මේ ගැසට් ඉවත්කර ගත් පසුව ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ වැඩිදියුණු වෙලා තිබෙන ප්‍රෙෂර් එක සේෆ්ටි වෑල්ව් එක හරහා එලියට පනිනවා වගේ අද වෙළෙඳපොළ තුළ එළියට පැනලා තිබෙන්නේ. මෙහිදී ඇතිවෙන උද්ධමනකාරී බලවේගය අපට එකවරක් ඇතිවන මිල වැඩිවීමකට සීමා කරගන්න පුළුවන්, මහ බැංකුව නැවත වරක් මුදල් නෝට්ටු මුද්‍රණය කරලා, මේ උද්ධමනයට තව බලයක් සැපයූවේ නැත්නම්. නමුත් මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරලා මේ ඇතිවෙච්ච මිල වැඩිවීමට බලයක් සැපයූවහොත් ඇත්තවශයෙන්ම සිදුවන්නේ එකවරක් පමණක් වැඩිවුණු මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් බවට පත්වෙලා අධි උද්ධමනයක් බවට පත් වීමයි.

"අපේ විනිමය අනුපාතිකයත් අද තියෙන්නේ මෙන්න මේ තත්ත්වයේ. විනිමය අනුපාතිකයේ වටිනාකම මහ බැංකුව විසින් රු. 203කට නියම කරලා තියෙන එක අපිට හඳුන්වන්න පුළුවන් MRP (Maximum Retail Price) එකක් නියම කරපු එකක් හැටියට. නමුත් ඒ ප්‍රමාණයට අද වෙළෙඳපොළේ ඩොලර් ලැබෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවක දී මේ MRP එක ඉවත් කරපු ගමන්ම විනිමය අනුපාතිකයත් මේ වගේම උඩට පැනලා මහා භයානක විදියට විනිමය අනුපාතිකය ශ්‍රී ලංකාවේ අඩුවෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන මහබැංකුව සහ රජය කටයුතු කළොත් වඩා සුදුසුයි."
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive