නිවෙස්ගත කොරෝනා රෝගීන් අඩුවෙයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

නිවෙස්ගතව කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේ සේවාව යටතේ පහසුකම් ලබාගන්නා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට සියයට 25ත් 30ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසනවා.

එමෙන්ම, ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 548 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 532,766ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 546ක් අලුත් අවුරුදු කොවිඩි පොකුරේ ආශ්‍රිතයන් වන අතර විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු ද ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 25,927ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද මරණ 18ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,525ක් දක්වා ඉහළ ගියා.

මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 493,314ක්.

නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, එම සේවාව යටතේ පුද්ගලයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට උපදෙස් ලබා දී ඇති බවයි.

හෙට සිට වයස අවුරුදු 18ත් 19ත් අතර කාණ්ඩයේ පාසල් දරුවන්ට දිවයින පුරා එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.

මේ අතර හෙට සිට අවසර ලබාදෙන්නේ නම් අන්තර් පළාත් බස් රථ ධාවනයට සියලු කටයුතු සූදානම් බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ, හෙට සිට ආරම්භ වන පාසල්වලට සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය පරිදි සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ මඟී ප්‍රවාහන දුම්රිය ධාවනය පිළිබඳව ඉදිරියේදී පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කමිටු රැස්වීමෙන් පසු තීරණයකට එළඹෙන බවයි.

කෙසේ වෙතත් දැනට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනය වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive