නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් රැගෙන එයි

Base.lk 6:49 AM Technology

මෙවර මහ කන්නය සදහා යෙදීමට ඇනවුම් කරන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31න් පළමු තොගය වන ලීටර් ලක්ෂය අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් අලුයම 12.25ට ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මේ සදහා යොදාගෙන ඇත්තේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ සදහන් කළේ, මෙම සතිය තුළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර තවත් ලීටර් ලක්ෂ 4ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබූ මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්වල ගොවි සංවර්ධන මධ්‍යස්ථාන  හරහා ගොවීන්ට ලබාදෙනු ඇති.

මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ එක්ව සිටියා.

පරිසර හිතකාමී විශේෂිත පොහොර වර්ගයක් ලෙස සැලකෙන මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොරවල විශේෂත්වය වන්නේ ඒවා පාංශු ජලයේ ද්‍රාවණය නොවී ඍජුවම ශාක වලට අවශෝෂණය වීමයි.

ඒ හේතුවෙන් පොහොරවල අන්තර්ගත මූලද්‍රව්‍ය, පානිය ජලය ලබා ගැනීමට භාවිතා කරන ජලාශවලට එක් නොවන අතර, එම නිසා වකුගඩු රෝග වැනි විවිධ රෝගී තත්වයන් ඇති වීමේ අවදානමක් නොමැති බවටයි විශේෂඥයින් මඟින් තහවුරු කර ඇත්තේ.

මේ අතර මෙරටට ගෙන්වන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර මෙරට වී වගාවට මෙන්ම සෙසු බෝග සඳහාද ලබා දීමට කටයුතු කරන බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.

එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක් වෙමින් කියා සිටියේ, විෂ සහිත බැක්ටීරියා අඩංගු වීම මත ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගය මෙරටට ගෙන්වීමේ සැලසුමක් නොමැති බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive