කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත වේ (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කුසිනාරා හෙවත් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා. එම අවස්ථාවට උත්තර් ප්‍රදේශ් මහඇමති යෝගි ආදිත්‍යනාත් ඇතුළු එරට ඉහළ පෙළේ දේශපාලනඥයින් රැසක් ද එක්ව සිටියා.

මෙම ගුවන් තොටුපළ විවෘත කිරීම සංකේතවත් කරමින්  මහා සංඝරත්නය 95 නමක් සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරුන් පිරිසක් රැගෙන අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1147  දරණ යානය එහි පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙස කුෂි නගර් ගුවන් තොටුපළට ගොඩබස්වා තිබෙනවා.

අද විවෘත කෙරුණු කුෂිනගර් ගුවන් තොටුපළ සැලකෙන්නේ ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙසයි.

කුෂිනගර් වෙත පළමු ගුවන් ගමන සිදුකෙරුණු අවස්ථාවේදී එහි සිටි පිරිසට සුබ පැතීම සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

වස්කඩුව - රාජ්ගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිල වස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා ද අද දිනයේදී ඉන්දියාවට වැඩම කළ අතර එය අද සහ හෙට යන දෙදින තුළ කුශිනගර් හි බැතිමතුන්ට වන්දනා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

22 වැනි දා දක්වා බරණැස දක්වා එම සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කිරීමට නියමිතයි.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකය වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරතවුණා.

මුහුදු මට්ටමින් අඩි 261ක උසකින් පිහිටා ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එක් ධාවන පථයකින් යුක්ත වන අතර, බෝයිං 737 වර්ගයේ ගුවන් යානාද ගොඩබැස්විය හැකි අයුරින් නිර්මාණය කර තිබෙනවා.

මෙය විවෘත කිරීමත් සමඟ බෞද්ධ බැතිමතුන්ට නවදිල්ලිය හරහා නොගොස් ඍජුවම කුසිනාරාව වෙත ළඟාවීමට ඉඩ සැලසෙනු ඇති.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive