හෙටින් ඇරඹෙන නවමු පාසල් වාරයට අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Base.lk 6:49 AM Technology

හෙට (21) දිනයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුකූලව පාසල් විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

රට තුළ පවතින නව්‍ය කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් තාවකාලිකව වසා දමා තිබුණා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා දමා ඇති මොහොතක රට තුළ සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබුවේ, පාසල් ගුරුවරුන් විසින් ඔන්ලයින් හෙවත් මාර්ගගත ඉගැන්වීම් ක්‍රමය භාවිත කරමින්.

එහෙත්, දින 100 ඉක්ම වූ අඛණ්ඩ ගුරු වැටුප් වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල් ගුරුවරුන් මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ඉවත් වීමත් සමඟ, එතෙක් මෙරට පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලිය ද බිඳ වැටීමට ලක් වුණා.

මෙවන් තත්ත්වයක් හමුවේ හෙට (21) දිනයේ සිට ඇරඹෙන නවමු පාසල් වාරය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව, මුළු මහත් ජාතියේම සතුට බවයි.

එබැවින් එකී සතුට රැගෙන ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් හෙට නැවතත් පාසල් බිම හැඩ කරනු ඇති බව තම විශ්වාසය බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම කලෙකින් නුදුටු සිය දරු දැරියන්ගේ සතුටු මුහුණු සජීවීව දකින්නට ගුරු පියවරුන්, ගුරු මෑණිවරුන් හෙට පාසලට එනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අධ්‍යාපනය යනු ජාතියේ අනාගතය වන අතර, එය වනාහි ජාතියේ දියුණුවේ ශක්තියයි.

එය ලබාදෙන ගුරුවරයාගේ වැටුප් වැඩිවීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා මැදිහත්ව විශ්වසනීය විසඳුමක් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහෙයින්, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාත්, බස්නාහිර සිට නැගෙනහිර දක්වාත්, විසිරී සිටින පාසල් දරුවන් හා ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුටත් නතර කළ නොහැකි අතර, මෙරට දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරැකීමට අප සැවොම අත්වැල් බැඳගත යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive