35 වසරකට පෙර සිදුකළ ඝාතනයක සැකකරු කොටුවෙයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

මෝල්ගසකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර වසර 35 ක් තිස්සේ සැඟව සිටි සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනියම් පෙමක් මුල්කරගනිමින් 1989 වසරේදි සිදුව තිබූ එම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුගේ බිරිඳද මේ වනවිට අත්අඩංගුවේ පසුවනවා.

එම ඝාතනයට අදාළව ඔවුන් දෙදෙනාට මරණ දණ්ඩනය ද නියම කර තිබුණේ 2019 වසරේදීයි.

අතුරුගිරිය පනාගොඩ වැලිපිල්ලෑව ප්‍රදේශයේ දී 1989 වසරේ ජනවාරි මස 13 වැනිදා පුද්ගලයෙකුට මෝල්ගසකින් පහරදී ඝාතනය කර තිබුණා.

ඝාතනයට ලක් වු පුද්ගලයා විදුලිබල මණ්ඩලයේ ඉංජ්නේරුවරයෙක් වූ අතර, ඔහු තම ලිපිකාරිනිය ලෙස සේවය කළ විවාහක කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබුණා.

ඒ බව දැනගත් පසු අදාළ කාන්තාවගේ සැමියා ඇයට තර්ජනය කරමින් උපක්‍රමශීලිව ඇය මාර්ගයෙන් අදාළ ඉංජිනේරුවරයා ඔවුන් පදිංචිව සිටි නිවසට ගෙන්වා ගෙන තිබුණා.

සැමියා නිවසේ නොමැති බැවින් නිවසට පැමිණෙන ලෙසට දුරකථනයෙන් ඇය කළ දැනුම්දීමකට අනුව පැමිණි එම ඉංජිනේරුවරයාට ඇගේ සැමියා විසින් මෝල්ගසකින් පහරදී ඝාතනය කර තිබුණා.

ඔහුගේ සිරුර කොටස්වලට කපා බැරලයක දමා අදාළ කාන්තාවගේද සහාය ඇතිව වළ දැමීමටයි ඔවුන් පියවර ගෙන තිබුණේ.

පසුව ඔවුන් දෙදෙනා බොරැල්ල ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන වාසය කර තිබු අතර, ඉංජිනේරුවරයා සහ ඔහුගේ ලිපිකාරිනිය අතුරුදන්ව ඇති බවට ඔහුගේ කාර්යාල සේවකයින් විසින් කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය එම ඝාතනය සම්බන්ධයෙන් අදාළ අඹුසැමි යුවල 1990 වසරේදී අත්අඩංගුවට ගත්තා.

ඔවුන් මාස හයක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණු නමුත් නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ යළිත්වරක් නඩු පවරා තිබුණා.

එහෙත්, ඔවුන් එවර එම නඩුවට සහභාගි වී නැහැ.

ඒ අනුව චූදිතයින් නොමැතිව 2019 වසර දක්වා වසර ගණනක් විභාග වු එම නඩුවෙන් ඔවුන්ට මරණ දණ්ඩනය නියම කෙරුණා.

මේ අතර චූදිත අඹු සැමි යුවල පොලිසිය මඟ හරිමින් හා පදිංචි ස්ථාන වෙනස් කරමින් සැඟවී සිට ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ පැවැත්වුවා.

අදාළ අඹුසැමි යුවළ වසර 35 කට පසු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණේ ඒ අනුවයි.

අදාළ කාන්තාව පසුගිය පෙබරවාරි මස 10 වැනිදා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර, ඇගේ සැමියා අත්අඩංගුවට ගත්තේ පූගොඩ ප්‍රදේශයේදී.

අදාළ පුද්ගලයා උප්පැන්න සහතිකය සහ ජාතික හැදූනුම්පත මියගිය පුද්ගලයෙකු නමින් ව්‍යාජව සකසාගෙන ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

සැකකරු අද (19) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive