ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

Base.lk 6:49 AM Technology

කම්කරු ව්‍යාපාරය සිය 138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01) සමරනු ලබනවා.

පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙළවර වූයේ, එක්තරා දිනයක් ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමිනි.

ඒ ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය යි.

1886 මැයි 4 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් හේමාකට් අරගලය ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හැඳින්වෙන අතර, ලොව පුරා මැයි දිනය හෙවත් කම්කරු දිනය සැමරීමට ද බලපෑවේ එම සටන යි.

එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබූ අතර, වැඩවර්ජනයට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්වුණා.

1890 සිට ලන්ඩනයේ කම්කරුවෝ මැයි දින සමරුව ආරම්භ කළ අතර මෙරට මැයි දින සැමරුම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ ඒ. ඊ. ගුණසිංහ විසින්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සමරා ඇත්තේ 1927 වසරේ දී.

කම්කරු ඉතිහාසයේ සඳහන්ව ඇති පරිදි මෙරට පළමු මැයි රැළිය 1933 වසරේ දී පවත්වා ඇති අතර එහි පා ගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටිය දක්වා ගොස් තිබෙනවා.

මෙවර මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මැයි රැළි සහ පෙළපාලි 40ක් දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අද දිනයේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක අතර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර අද පෙරවරු 11න් පසු කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි.

මෙවර සංවිධාන කර ඇති මැයි රැළි සහ පෙළපාලි අතරින් 14ක්ම කොළඹ නගරය ආශ්‍රිතව සංවිධාන කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේයි.

යළි නොවැටෙන අභිමානවත් රටක් යන තේමාව යටතේ එම රැළිය පැවැත්වෙන්නේ පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ මැයි දින රැළිය කොළඹ පහළ චැතැම් වීදියේදී පැවැත්වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාසගේ ප්‍රධානත්වයෙන්.

මෙවර සමගි ජන සන්ධාන මැයි රැළියේ තේමාව සමගි රටක් - අනගි හෙටක් යන්නයි.

මීට අමතරව වතුකරයේ ද මැයි රැළි දෙකක් සංවිධාන කිරීමට සමගි ජන සන්ධානය පියවර ගෙන තිබෙනවා.

දිනන රටක් - එක ගමනක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීයී.

රට හදන විසඳුමට - ජන බලය එක පෙළට යන තේමාවෙන් ජාතික ජන බලවේගයේ කොළඹ රැළිය විහාරමහාදේවී උද්‍යානය අසල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මාවතේදී පැවැත්වෙනවා.

ඊට අමතරව යාපනය, මාතර සහ අනුරාධපුර නගරවලදී ද එම පක්ෂය මැයි රැළි සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය විසින් සංවිධාන කරන මැයි රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ, රට රකින ජන පවුර යන තේමාව යටතේයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර මැයි දින රැලිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වෙනවා.

ඒ, වැඩකරන ජනතාවනි, IMF මර උගුල හා ඉන්දියානු විජිතකරණය පරදමු යන තේමාව යටතේයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive