ඔලිම්පික් සිහිනය බොඳ වෙන මෙරට ධාවකයෝ

Base.lk 6:49 AM Technology

මේ මස 4 සහ 5 යන දිනයන්හිදී ලෝක සහය දිවිමේ මලල ක්‍රීඩා තරගාවලිය කොදෙව් දේශයේ බහමාස්හිදී පැවැත්වෙන්නේ ළඟ එන ඔලිම්පික් උලෙළේ පරිසාදන මට්ටම ඉක්මවා යන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන කදිම තෝතැන්නක් ලෙසටයි.

ලොව නම් දැරූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය නියෝජනය කරන්නට කල්වේලා ඇතිවම සිය රටේ මලල ක්‍රීඩා සහ ක්‍රීඩා බලධාරීන් සමග සැලසුම් සකස් කරද්දී ශ්‍රී ලංකා මීටර් 400 සහය කණ්ඩායම ද පැරිස් ඔලිම්පික් උලෙළ නියෝජනය කරන්නට සිහින දැක්කා.

ඒ මීටර් 400 සහය කණ්ඩායම නියෝජනය කරන අරුණ දර්ශන ,කාලිංග කුමාරගේ,පසිදු කොඩිකාර,රාජිත රාජකරුණා ඇතුළු ක්‍රීඩකයින් මේවන විට මෙම තරගයේ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගතකිරීම්වල 16 වැනි ස්ථානයේ පසුවීම නිසයි.

ආසියාවේ පිරිමි මීටර් 400 සහය ඉසව්වේ වේගවත්ම කාළයට හිම්කම් කියන ශ්‍රී ලංකා සහය කණ්ඩායමට ඔලිම්පික් බලාපොරොත්තු මේ වනවිට සිහිනයක් බවට පත්ව ඇත්තේ බහමාස් යන්නට අතරමැදී අමෙරිකානු වීසා ලබා ගැනීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී තිබීම හේතුවෙන්.

ලෝක මලල ක්‍රීඩා සංගමයෙන් මෙම තරගාවලියේ පිරිමි මීටර් 400 සහය ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගි වන ලෙස දන්වමින් අප්‍රේල් මස 8 වැනිදා වන විට ඊට අදාළ ඇරයුම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත ලැබී තිබුණා.

එතැන් සිට මේ දක්වා අමෙරිකානු වීසා ලබා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයන් ලබා ගැනීමට මෙරට මලල ක්‍රීඩා සංගමයට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයට නොහැකිවීම විමතියට කරුණක්.

මෙලෙසින් වීසා ගැටළු සහ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුතාවට පත් කරමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිවලට සහභාගි කරවීම මෙරට ක්‍රීඩා බලධාරීන් ජම්මෙට වඩා පුරුද්දක් කරගෙන තිබෙන බවට ඕනෑවටත් වඩා උදාහරණ පසුගිය කාලය පුරා දක්නට ලැබීම සැවොම දන්නා කරුණක්.

ඒ සෑම අවස්ථාවදීම හිරු RED CARD තුළින් එය අනාවරණය කරමින් බලධාරීන්ගේ ඇස ඒ වෙත යොමු කරන්නට අප කටයුතු කරද්දී, මර නිද්දෙන් ඇහැරුණා සේ කඩිමුඩියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ තරගාවලි සඳහා පිටත්කර හරින්නට බලධාරීන් කටයුතු කළා.

මෙවර ඔලිම්පික් උලෙළ සඳහා යන්තම් එක් ක්‍රීඩකයෙකු පමණක් සුදුසුකම් ලබා තිබෙන මොහොතක ඉන් පම්පෝරිගසනවා වෙනුවට රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කළේ කුමක් ද යන්න ක්‍රීඩා ඇමති ඇතුළු බලධාරීන් ඔවුන්ගෙන්ම ඇසිය යුතු කාළය ද දැන් උදා වී ඇති බවයි අපගේ හැඟීම.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive