කටුනායක ගුවන් තොටුපළේ දී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැවරීම හේතුවෙන් ඊයේ (01) පස්වරුවේ ගුවන් තොටුපළ තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට පවරා තිබූ අතර, එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දිගු පෝලිම් ඇතිවීමෙන් විදේශීය සංචාරකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙතෙක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වීසා අයැදුම් කිරීම සහ ඒවා ලබාදීම විනාඩියක් වැනි කෙටි කාලයක් තුළ ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකර තිබුණා.

ඔවුන් ඒ සඳහා ඉන්දියාව, චීනය වැනි සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර, සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක කාලයකට ඩොලර් 20 ක් සහ අනෙකුත් රටවල සංචාරකයන් සඳහා අමෙරිකානු ඩොලර් 50ක ගාස්තුවක් ද අය කරනු ලැබුවා.

ඒ අනුව, ඊයේ සිට වීසා නිකුත් කිරීම භාරගත් ඉන්දීය පෞද්ගලික සමාගම මගින් සාක් රටවල සංචාරකයින්ගෙන් සිය වීසා ගාස්තුවට අමතරව ඩොලර් විසි දෙකක් සහ අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඩොලර් විස්සක මුදලක් ද අය කරගෙන තිබෙනවා.

එවන් පසුබිමක ඊයේ පස්වරුවේ පමණක් ඉන්දීය සහ ශ්‍රී ලංකා නිලධාරීන් දසදෙනෙකු පමණ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ වීසා නිකුත් කිරීම ආරම්භ කරනු ලැබුවා.

ඊයේ රාත්‍රී 8.30 පමණ තෙක් එහි දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඒ අතරතුරයි විදෙස් සංචාරකයින් ප්‍රකෝප වී උණුසුම් අයුරින් හැසිරීමට පටන් ගත්තේ.

පසුව ඉන්දීය පෞද්ගලික සමාගමේ නිලධාරීන් රාත්‍රී 11.30 වනවිට වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

අප වාර්තාකරු සඳහන් කළේ අනතුරුව ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලු‍ක්පිටිය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන්ට එම අවස්ථාවේ සිට පැරණි ගාස්තු ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම ආරම්භ කරන ලෙස දැනුම් දුන් බවයි.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive