වීසා නිකුත් කිරීමේ අවිධිමත්භාවය හේතුවෙන් විදෙස් සංචාරකයින් පැමිණීම අඩුවෙයි ?

Base.lk 6:49 AM Technology

ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ මතුව ඇති අවිධිමත්භාවය හේතුවෙන් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩුවිය හැකි බවට ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය අනතුරු අඟවනවා.

ශ්‍රී ලංකාව මේවනවිට ආසියාවේ ඉහළම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව තිබීම ද ඊට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වීඑෆ්එස් නමැති පෞද්ගලික සමාගම ඔන් අරයිවල් වීසා හෙවත් ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ පසුගිය අප්රේල් 17 වැනිදා සිටයි.

සිය සේවා සැපයීම වෙනුවෙන් වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 18ත් 25ත් අතර මුදලක් අයකිරීමටද ඔවුන් කටයුතු කර තිබුණා.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් චීනය, ඉන්දියාව සහ රුසියාව ඇතුළු රටවල් 07ක් වීසා ගාස්තුවලින් නිදහස් කර තිබුණත් එම රටවල සිට පැමිණෙන සංචාරකයින්ගෙන්ද මෙම සමාගම සේවා සැපයීම වෙනුවෙන් ඩොලර් 22ක මුදලක් අයකරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙවන් පසුබිමක පසුගිය දිනක මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට එම සමාගම හරහා වීසා ලබාගැනීමට ගිය අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් ද හටගත්තා.

මේ වනවිට අදාළ පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්.

මේ අතර SLAITO (ස්ලයිටෝ) හෙවත් සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ජනාධිපතිවරයා වෙත නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ තායිලන්තය, වියට්නාමය සහ නොමිලේ වීසා ලබා දෙන හෝ ඊට වඩා අඩු ගාස්තු අය කරන තරගකාරී ගමනාන්තයන්ට සාපේක්ෂව සංචාරකයින් සඳහා සැලකිය යුතු බාධාවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාව මේවනවිට ආසියාවේ ඉහළම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන ආකාරයට දින 30ක් සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින්හට ඔන් අරයිවල් වීසා නිකුත් කිරීමට අදාළ සේවා සැපයීම වෙනුවෙන් අදාළ පෞද්ගලික සමාගම අමෙරිකානු ඩොලර් 101ක් අයකරනවා.

කෙසේවෙතත් මෙරටට ආසන්න අනෙකුත් සංචාරක ගමනාන්ත වන මාලදිවයින,වියට්නාමය, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල දින 30ක් සඳහා ඔන් අරයිවල් වීසා සඳහා කිසිදු මුදලක් අයකරන්නේ නැහැ.

ඒ අනුව අදාළ පෞද්ගලික සමාගම මෙලෙස අසීමිතව මුදල් අයකිරීම මත ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයින් 50%කින් පමණ අඩුවිය හැකි බවයි මෙරට සංචාරක නියෝජිත ආයතන සම්මේලනය පවසන්නේ.

මේ අතර සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් මහතා
හෙට විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive