48 cc යතුරු පැදි අලෙවි ව්‍යාපාරික ස්ථාන 04 වටලයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

48 cc ලෙස මෙරට ලියාපදිංචි කළ නොහැකි ස්කූටි වර්ගයේ යතුරු පැදි මෙරටදී එකලස් කර අලෙවිකර, ජනතාව මුදල් ගසා කෑ ව්‍යාපාරික ස්ථාන 04 ක් වටලා විකිණීමට සුදානම් කර තිබු යතුරුපැදි 41 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාල වැටලීම් කුරුණෑගල, වාරියපොළ, මාස්පොත හා නාත්තන්ඩිය ප්‍රදේශයේදී අද සිදුකෙරුණේ හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු මතයි.

මෝටර් රථ මෙන්ම යතුරුපැදි තවමත් මෙරට ගෙන්වීමට අවසර නොමැති පසුබිමක් තුල කුරුණෑගල ප්‍රදේශයේ වාහන අංගන තුල යතුරු පැදි අමතර කොටස් ගෙන්වා එකලස් කර විකිණීමේ මහා පරිමාන ජාවාරමක් සිදු කර ගෙන යන බව පසුගිය මාර්තු මාසයේ 21 හා 22 යන දෙදින තුල අප හිරු සී.අයි.ඒ.හරහා හෙළි කළා.

48 cc වර්ගයේ යතුරු පැදි ලෙස හදුන්වා ඊට බෝඩ් ලෑල්ලක් ද සවි කර දෙන මෙම ව්‍යාපාරිකයන් පාරිභෝගික ජනතාවට මේ සඳහා ලියාපදිංචි අංක ලබාගැනීමක් අවශ්‍ය නොවන බව පවසා මුලා කරනවා.

කෙසේ වෙතත්, මෙම ජාවාරමට හසු වු පුද්ගලයන් හිරු සී.අයි.ඒ.හමුවේ පැවසුවේ මෙම යතුරු පැදි මාර්ගවල ධාවනයේදී පොලිසිය යතුරු පැදිකරුවන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මෙම යතුරු පැදි ජාවාරමට හසුවන පුද්ගලයන්ට අවසානයේ තම මුදල් ද අහිමි කරගෙන නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදු වුව ද කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ මේවා අලෙවිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම පුදුමයට කරුණක්.

අප අවස්ථා කිහිපයකදී මෙරට පාරිභෝගියන් රැකීමට බැඳී සිටින ආයතනවලට මෙන්ම ශ්‍රී ලංකා රේගු බලධාරීන්ගේ ද අවධානය මීට යොමුවිය යුතු බව පැවසුවද ජනතාව මුලාවේ දමන 48 cc ස්කූටර් ජාවාරමට එම ආයතන හරහා නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක්.

එවන් පසුබිමක් තුල පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂවරයා සහ ස්ථානාධිපතිවරයා සැලසුමක් සකස් කළා.

ඒ අනුවයි එම ඒකකයේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා යතුරුපැදි අලෙවිසැල් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කර තිබුනේ.

ඒ අනුව වලාන බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරු මත කුරුණෑගල, මාස්පොත,වාරියපොල හා නාත්තන්ඩිය යන ප්‍රදේශවල නීති විරෝධීව එකලස් කොට අලෙවි කිරීමට සුදානම් කර තිබු ස්කූටි වර්ගයේ යතුරු පැදි 41ක් හා අධි වේග යතුරු පැදි දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කලේ අදාල යතුරු පැදිවල වටිනාකම රුපියල් කෝටි 2 කට අධික බවයි.

මෙම යතුරු පැදි ජාවාරම මෙහෙයවන මහමොළකරු මේ වනවිට කුරුණෑගල ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive