News

කාදිනල් හිමිගෙන් ගෝඨාභයට යළිත් පිළිතුරු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය අප්‍රේල් 25 වනදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළි පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පස්වන සැමරුම් දේව මෙහෙයේදී කාදිනල් හිමිපාණන් තමන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සාවද්‍ය බවත්, ඒවා ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් කාදිනල් හිමිපාණන් සඳහන් කර ඇත්තේ තමන් සිදුකළ ප්‍රකාශ සත්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ගෝඨාභය රාජපක්ෂ පත්කළ ජනාධිපති කොමිසම් වාර්තාව තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන හැර වෙනත් සංවිධාන තහනම් කිරීමක් සඳහන් කර නොමැති බව ඔහු ප්‍රකාශ කර ඇතැයි කාදිනල් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් සත්‍ය වන්නේ මේ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන ආකාරයට ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ පළමුවෙනි වෙලුම, එනම් නිර්දේශ ඇතුළත් වෙලුම් තුළ ඔහු විසින් තහනම් කළ යුතු සංවිධාන ලෙස වෙනත් මුස්ලිම් නොවන සංවිධානද තහනම් කර තිබීමයි.

එමෙන්ම ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් පමණක් නොව වෙනත් සංවිධාන ද තහනම් කළ යුතු බවට ජනාධිපති කොමිසම් සභා නිර්දේශවල ඇති නියෝගය ක්‍රියාත්මක කිරීමද තමන්ට ප්‍රශ්නයක් නොවන බව හිටපු ජනාධිපතිවරයා සැබවින්ම තමා සමග ප්‍රකාශ කළ බවත්, යළිත් සඳහන් කරන්නට කැමති බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කළේ.

එවැනි කරුණක් හිටපු ජනාධිපතිවරයා තමාට නොකීවේ නම් එවැනි චෝදනාවක් ගෙතීම හෘද සාක්ෂියට අනුව කළ නොහැකි දෙයක් බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යට ගැසීමේ පිළිවෙත, අද පවතින රජයද ඊට ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙන යන බවට පැහැදිළි බවද අගරදගුරු හිමිපාණන් කියා සිටියා.

එසේ සිදුවුවහොත් අහිංසක මිනිස් ජීවිත 273ක් බිල්ලට දුන් මෙන්ම 500ක් පමණ විවිධ අයුරින් ආබාධිත තත්වයන්ට ගොදුරු කළ පාස්කු ප්‍රහාරය මේ රටේ පාලකයින්ට අමතක වී යනු ඇති බවයි උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

එබැවින් මෙම විවේචනය ගැන ස්වාධීන, විනිවිද පෙණෙන සත්‍යවාදී විමර්ශනයක් අවශ්‍ය බවත්, එවැන්නක් ලැබෙනතුරු තමන් අවධියෙන් සිටින බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

Scroll to Top