News

වන්නි දිස්ත්‍රික්කයට භාරදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ තීරණය සම්බන්ධව ගොනුකළ පෙත්සමේ තීන්දුව හෙට

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනු කළ පෙත්සමේ තීන්දුව හෙට (23) දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ ප්‍රතික්ෂේප කළ නාමයෝජනා පත්‍රය පවතින නීතියට අනුකූලව අදාළ තේරීම් භාර නිලධාරියා විසින් භාර ගත යුතු බවයි.

ඒ අනුව මෙම කරුණට අදාළ තීන්දුව සහ ඊට හේතු හෙට දින ප්‍රකාශයට පත් කරන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අදාළ පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර තිබෙන අදාළ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි.

එම අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් එය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙතිසම ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Scroll to Top