News

නිවෙස් බිඳ මුදල් හා දේපල සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පසුගිය මාර්තු 12 වැනිදා පලා ගිය සැකකරුවෙකු මාවතගම පොලිස් වසමේ මලන්දෙනිය ප්‍රදේශයේ දී පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් සහ ගෙවල් බිඳීමේ උපකරණ සන්තකයේ තබාගෙන සිටියදීයි මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 33ක්වන කහපත්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු මාවතගම, යක්කල, සිදුව, මීරිගම, නිට්ටඹුව, වරකාපොල, දොරටියාව, මීගමුව, දංඕවිට හා කිරිඳිවැල පොලිස් වසම්වල නිවෙස් බිඳ දේපල සොරකම් රාශියක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම සැකකරු විසින් දොරටියාව පොලිස් වසමේ සිදු කළ දේපල සොරකමකදී නිවසක තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරාගන්නා ලද විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවිය පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර, සැකකරු සොරකම් කරන ලද රන් භාණ්ඩ හා දේපල උකස් කර හා විකුණා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මොහුට වරෙන්තු 09ක් නිකුත් කර ඇති බවටයි සොයාගෙන ඇත්තේ.

ඒ අනුව, මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Scroll to Top