මාස කිහිපයකට ඉහත දී මිය ගිය කාන්තාවකගේ යැයි සැක කෙරෙන මළසිරුරක් කැස්බෑව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.
119 පොලිස් හදිසි දුරකතන ඇමතුම් සේවය හරහා කැස්බෑව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කැස්බෑව පොලිසිය මගින් අදාල නිවෙස පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම සිරුර සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම ඇටසැකිලි කොටස් සොයාගෙන ඇත්තේ, කැස්බෑව, මාකන්දන ප්‍රදේශයේ නිවසේ තිබියදී.
පොලිසිය සැක පළ කරන්නේ, එම ඇටසැකිලි කොටස් එම නිවසෙහි ජීවත් වූ 65 හැවිරිදි කාන්තාවගේ බවයි.
මෙම කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා වෙන වෙනම ජීවත්ව සිට ඇති අතර ශරීර කොටස් සොයාගෙන ඇත්තේ එම නිවසේ මුළුතැන්ගෙයි තිබියදී.
ඇයගේ සිරුර යටිකය උඩුබැලි අතට තිබීමත්, ඇදිවත උඩුකය දෙසට වන්නට තිබීමත් හේතුවෙන් පොලිසිය නිගමනය කර ඇත්තේ කාන්තාව අතවරයකට ලක්ව ඇති බවටයි.
නිවසේ කාමරයකට ඇතුළුවන ස්ථානයෙහි බිත්තියක තිබී ඇගිලි සලකුණු කිහිපයක් සහ පා සටහන් කිහිපයක් ද පොලිසිය මගින් සොයාගෙන ඇති අතර, ඒ ඔස්සේ විමර්ෂණ ක්‍රියාත්මක කොට තිබෙනවා.
මීට මාස අටකට පමණ පෙර මෙම කාන්තාව මියගොස් ඇති බවත් යම්කිසි පුද්ගලයෙකු නිවසේ වහලයේ බිත්තිය මතින් ඇතුළු වී මෙම අපරාධය සිදු කරන්නට ඇති බවත් පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් SOCO පොලිස් නිළධාරීන් සහ කැස්බෑව මහේස්ත්‍රාත් අසංක බෝදලගමගේ සහභාගීත්වයෙන් ස්ථානීය පරීක්ෂාව සිදුකරනු ලැබුවා.
වැඩිදුර විමර්ශන කැස්බෑව පොලිසිය මගින් සිදුකරන අතර මියගිය බවට සැක කෙරෙන කාන්තාවගේ ස්වාමිපුරුෂයාගෙන් සහ අසල්වාසීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.