ඉකුත් දා කාශ්මීරයේ දී සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසුව, න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ දෙරට අතර ආතතීන් උත්සන්න වෙමින් පවතින බැවින්, අසල්වැසි ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ (28) පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය අතර දෙරටේ ආරක්ෂක අංශ අතරේ සිය දේශසීමා ආසන්නයේ විටින් විට වෙඩි හුවමාරු ද සිදු වුණා.
කෙසේ නමුත් කාශ්මීරයේ සටන්කාමීත්වයට සහාය දෙන බවට ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරන අතරවාරයේ පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් රොයිටර්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව තිබුණා.
එහි දී ඔහු සඳහන් කර තිබුණේ, "අපි අපේ හමුදා ශක්තිමත් කර ඇත්තේ එය දැන් ආසන්න දෙයක් නිසා. එබැවින් එම තත්ත්වය තුළ සමහර උපායමාර්ගික තීරණ ගත යුතුයි, එබැවින් එම තීරණ ගෙන ඇත," යනුවෙන්.
ඉන්දියාවේ වාග් ප්‍රහාර වේගවත් වෙමින් පවතින බවත්, ඉන්දියානු ප්‍රහාරයක් සිදුවීමේ හැකියාව පිළිබඳව පාකිස්තාන හමුදාව රජයට දැනුම් දී ඇති බවත් අසිෆ් එහි දී පවසා තිබුණා.
මේ අතර ඔහු වැඩිදුරටත් අදාළ සාකච්ඡාවේ දී සඳහන් කර තිබුණේ, "අපගේ පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම්" පමණක් තම න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති" බවයි.
ඉස්ලාමාබාද් ගල්ෆ් රාජ්‍යයන් සහ චීනය ඇතුළු මිත්‍රශීලී රටවල් වෙත ළඟා වී ඇති බවත්, බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය සහ අනෙකුත් අයට තත්ත්වය පිළිබඳව දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පවසා තිබෙනවා.